
ඉන්දියාව හා පාකිස්ථානය අතර මේ වන විට උද්ගත වී ඇති අර්බුධය, යුද්ධයක් දක්වා දික්ගැසුනහොත් ඉන් දකුණු ආසියානු කලාපයේ සාමයට ඇති විය හැකි තත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් මේ වන විට නිර්මාණය වී ඇත.
ඉන්දියාව හා පාකිස්ථානය අතර මේ වන විට උද්ගත වී ඇති අර්බුධය, යුද්ධයක් දක්වා දික්ගැසුනහොත් ඉන් දකුණු ආසියානු කලාපයේ සාමයට ඇති විය හැකි තත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් මේ වන විට නිර්මාණය වී ඇත.
එවැනි තත්වයක් තුළ ශ්‍රී ලංකාවේ භූමිකාව සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇත්තේ, මෑතකදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී දෙරට අතර අත්සන් කරනු ලැබූ ආරක්ෂක ගිවිසුම හේතුවෙනි.
මෙම ගිවිසුමේ අඩංගු දෑ සම්බන්ධයෙන් මේ වන තෙක් ශ්‍රී ලංකා හෝ ඉන්දීය රජයන් කිසිදු ආකාරයේ නිල ප්‍රකාශයක් සිදු කර නොමැත. විදේශ අමාත්‍ය විජිත හේරත් මෑතකදී පැවසූයේ මෙම ගිවිසුමෙහි අඩංගු කරුණු නිරාවරණය කිරීමට ශ්‍රී ලංකා රජයට තනිවම කළ නොහැකි බවත්, එයට ඉන්දීය රජයේ අනුමැතිය හිමි විය යුතු බවත්ය.
මේ පිළිබඳව අදහස් දක්වන දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දෙන්නේ එහි අන්තර්ගතය, එකඟතා පිළිබඳව නොදන්නා නිසා ලංකාවට ඉන්දියාව හා පකිස්ථානය අතර ඇති විය හැකි යුද්ධයකදී කුමනාකාර මැදිහත්වීමක් සිදු කරන්නට වේදැයි අනුමාන කළ නොහැකි බවයි. එවැනි යුද්ධයකදී ශ්‍රී ලංකාවට මධ්‍යස්ථව සිටීමට අවස්ථාවක් නොලැබීමේ සම්භාවිතාව ඉතා ඉහළ බවද ඔහු සඳහන් කරයි.
එබැවින් එවැනි යුද්ධයක් නිර්මාණය වුවහොත් ඉන් වඩා බලපෑමට ලක්වන කලාපීය රට ලංකාව වීමේ සම්භාවිතාවය ඉතා ඉහළය. එබැවින් අදාළ අර්බුධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉතා දැඩි අවධානයකින් පසුවිය යුතු බව ඔහු අවධාරණය කරයි.
පල්ගම් ත්‍රස්ත ප්‍රහාරය: එල්ල වූ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයයි. ඉන් පසුව සිදු වූ දරුණුම ප්‍රහාරය ලෙස සලකනුයේ පසුගියදා කාෂ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශයක් වන පල්ගම් හී සිදුවු ත්‍රස්ත ප්‍රහාරයයි. මෙම ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටි හින්දු පුද්ගලයින් පිරිසක් එල්ල කරමින් තුවක්කුකරුවන් තිදෙනක් ප්‍රහාරයක් දියත් කළ අතර ඉන් 26 දෙනෙකු මිය ගියහ. තුවාල ලැබු සංඛ්‍යාව 17 කි. මේ සිද්ධියත් සමගින් යම් තරමකට සාමකාමීව පැවති ඉන්දු – පකිස්ථාන් අර්බුධයේ අළු යට වූ ගිනි පුළිඟු යළි ඇවිලෙන්නට විය.
ඊගෝ ගැටුම: වසර ගණනාවකට පසුව එල්ල වු මෙම ත්‍රස්ත ප්‍රහාරය සමග එය ඉන්දියාවේ අභිමානයට එල්ල වූ පහරක් ලෙස එරට සලකමින් සිටියි. විශේෂයෙන් ඉන්දීය අගමැතිවරයා එය දැඩි ලෙස සිය අභිමානයට එල්ල වූ පහරක් ලෙස සලකන බවක් ඔහුගේ හැසිරිමෙන් පෙනී යයි. මෙම ප්‍රහාරය එල්ල වන විට ඇමරිකානු උප ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයක නිරතවෙමින් සිටියේය. එබැවින් ඉන්දියාව මෙය වඩා බරපතල ලෙස ගෙන ඇත. පකිස්ථානය ද හැසිරෙනුයේ එවැනිම ආකාරයකිනි. අදාළ සිද්ධිය සඳහා සිය රටේ සම්බන්ධයක් නොමැති බවක් පැවසුවද ඔවුන් යුද්ධකයට සැරසේ. දෙරටේම මාධ්‍ය හැසිරෙනුයේ රට වැසියන් යුද්ධයක් සඳහා උසි ගන්වමිනි.
එකට එක කිරීම: දෙරට මේ සිද්ධියත් සමගින් එකට කිරීමක් සිදු කරමින් සිටියි. ඉන්දියාව මෙහිදි ගත් අතිශය සංවේදී තීරණය වන්නේ දෙරට අතර පැවති “ඉන්දු ජල ගිවිසුම” ඒක පාර්ශවිකව අවසන් කිරීමයි. 1960 වර්ෂයේදී ලෝක බැංකුව මැදිහත් වීමෙන් අත්සන් කරන ලද මෙම ගිවිසුම හරහා ඉන්දු ගංගාවේ ජලය පකිස්ථාන ගොවීන් වෙත ලබා දීම සිදුවේ. මෙය අවසන් කිරීමත් සමග ලක්ෂ 15 ක පමණ පකිස්ථාන ගොවීන් පිරිසක් දැඩි බලපෑමට ලක්වේ.මීට පෙර දෙරට අතර අවස්ථා කිහිපයකදීම දරුණු ලෙස ගැටුම් ඇවිලී ගියද මෙම ගිවිසුම අවසන් කිරීමේ තීරණයක් ගෙන නොතිබුණි.
අදාළ තීරණය පිළිබඳව අදහස් දක්වමින් පකිස්ථාන දුම්රිය අමාත්‍යවරයා පවසා ඇත්තේ “පකිස්ථානයේ සියලු බැලස්ටික් මිසයිල තමන් දෙසට හරවා ගැනීමට ඉන්දියාව ක්‍රියා කළා”ලෙසිනි.
මෙම තීරණයට එකට එක කිරීමක් ලෙස පකිස්ථානය ද ශිම්ලා ගිවිසුම ඒක පාර්ශවිකව අවසන් කිරීමට පියවර ගත්තේය. මේ අතර දෙරටම තම රටවල රැඳි සිටින ඉන්දීය හා පකිස්ථාන ජාතිකයන් හට පිටව යාමට පැය 48 බැගින් කාලය ලබා දුන් අතර දේශසීමා වසා දමා යුධ ශක්තිය තර කළහ. එලෙසම පකිස්ථානය ඉන්දියාව සමග සියලු වෙළෙඳ කටයුතු නවතා දමා ඉන්දිය ගුවන් යානා වලට සිය ගුවන් කලාපයද තහනම් කෙරිණි.ඉන්දීය නාවික හමුදාවද අගමැතිවරයාගේ උපදෙස් මත දිගුදුර බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ.
ගැටුම් ඉතිහාසය: ඉන්දු- පකිස්ථාන ගැටුම් ඉතිහාසය බ්‍රිතාන්‍ය පාලන සමය දක්වා දිව යයි. 1947 දී බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාවට නිදහස ලබා දීමේදී රට ජනවාර්ගික පදනම යටතේ දෙකට බෙදනු ලැබීය. ඒ අනුව මුස්ලිම් බහුතරය විසූ ප්‍රදේශය පකිස්ථානය වූ අතර හින්දු බහුතරය විසූ භූමිය ඉන්දියාව විය. ස්වාධීන පාලන ප්‍රදේශයක් ලෙස පැවති ජම්මු හා කාෂ්මීරයට තමන් කැමති රටක් සමග එක් වීමට අවසරය දෙන ලදි. ඒ අනුව 1947 දී එවකට මෙම ප්‍රදේශය පාලනය කළ මහරාජාවරයා හින්දු ජාතිකයකු වූ අතර ඔහුගේ සහය හිමිවූයේ ඉන්දියාවටය.එහෙත් බහුතර ප්‍රජාව මුස්ලිම් ජාතිකයන් වූ අතර ඔවුන් මෙම තීරණයට විරුද්ධව සටන් කරන්නට විය. ඒ හේතුවෙන් ඇති වු යුද්ධය අවසන් වුයේ 1948 දීය. ඉන් පසුව වරින් වර ජම්මු හා කාෂ්මීරය මුල් කර ගනිමින් ගැටුම් නිර්මාණය වු අතර 1965 දී හා 1999 දී දරුණු යුද ගැටුම් ඇතිවිය.
චෝදනාවට හේතුව: ඉන් පසුව දරුණු ලෙස දේශසීමා ගැටුම් ඇවිල නොගියද දෙරට අතර සීතල යුද්ධයක් පැවතිනි. 2008 දී එල්ල වු මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියාව සෘජුවම චෝදනා එල්ල කර සිටියේ පකිස්ථනය වෙතයි. පකිස්ථානය නිරන්තරයෙන් ත්‍රස්තවාදයට සහය පළ කරන බවටත් කාෂ්මීර බෙදුම්වාදීන්ට සහය පළ කරන බවටත් ඉන්දියාව දිගින් දිගටම චෝදනා කරමින් සිටියේය. කෙසේ වුවත් යළිත් දරුණු ගණයේ ගැටුමක් නිර්මාණය වූයේ මෙම අප්‍රේල් 22 සිද්ධිය මුල් කර ගනිමිනි. මෙම සිද්ධියේ වගකීම භාරගෙන ඇත්තේ “කාෂ්මීර් රෙසිස්ටන්ස්” නැමැති ත්‍රස්ත සංවිධානය විසිනි. ඔවුන් 2008 වර්ෂයේ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය සිදු කළ “ලස්කර් – ඊ – තයිබා” නැමැති ත්‍රස්ත සංවිධානයේ අනුබද්ධ සංවිධානයකි. මෙම සිද්ධියේදී පකිස්ථානය වෙත ඇඟිල්ල දිගු වීමට මෙය ප්‍රධාන හේතුවක් විය.
කෙසේ වෙතත් පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් අදාළ සිද්ධියට සිය රටේ කිසිදු සෘජු මැදිහත් වීමක් නොමැති බව පවසා ඇති අතරම ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධින පරීක්ෂණ කමිටුවක්ද පත් කර තිබේ. මේ පරීක්ෂණ සඳහා බාහිර පාර්ශවයක් ලෙස ඉරානයට සහය හිමිව ඇත. ඉන්දියාව හා පාකිස්ථානය යළි දරුණු යුද්ධයක පැටලීමෙන් වැලකීම සමස්ත දකුණු ආසියාතික කලාපයේම ආරක්ෂාවට මෙන්ම ආර්ථිකයටද එය වඩා වැදගත් වන තීරණයකි.