ආර්ථික
ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර ද්විපාර්ශවික වෙළෙඳ ගිවිසුමකට සාකච්ඡා
image for ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර ද්විපාර්ශවික වෙළෙඳ ගිවිසුමකට සාකච්ඡා

ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශවික වෙළෙඳ ගිවිසුමකට එළඹීමට සාකච්ඡා මේ වන විට ආරම්භ වී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ට්‍රම්ප් ජනාධිපතිවයරාගේ පරිපාලනය විසින් පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත (USTR) කාර්යාලය සමඟ ශ්‍රී ලංකාවේ දූත පිරිස වොෂින්ටන්හි පැවති සාකච්ඡා සම්බන්ධයෙන් අද (25) දිනයේදී සිදු කරන ලද ප්‍රකාශයෙහි මේ බව දැක්වේ.

ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන්හි එක්සත් ජනපද  වෙළෙඳ නියෝජිත කාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින එහි තානාපති  ජේමිසන් ග්‍රියර් හමු විය.

එහිදී, ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත තානාපති ග්‍රියර් වෙත යොමු කළ ලිපි ගනුදෙනුවෙහි මුල් පිටපත් මුදල් අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් අනුව,ශ්‍රී ලංකා දූත පිරිස විසින් ඔහු වෙත භාර දෙන ලදී.

ශ්‍රී ලංකාවේ සූදානම: වෙ‍ළෙඳ හිඟය අඩු කිරීමටද, තීරුබදු සහ තීරුබදු නොවන බාධක අවම කිරීම සඳහා ද එක්සත් ජනපද රජය සමඟින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති යුහුසුළු සහ ධනාත්මක කැපවීම පිළිබඳව මෙහිදී ශ්‍රී ලංකා දූත පිරිස පෙන්වා දුන්හ.

මෙම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති යෝජනා ඇගැයුමට ලක් කළ තානාපති ග්‍රියර් දෙරට අතර අපක්ෂපාතී හා සාධාරණ වෙ‍ළෙඳ සබඳතාවක් සහතික කරලීම සඳහා කඩිනමින්  ගිවිසුමකට එළැඹිය හැකි බවටද සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමකට එළැඹීමේ අරමුණින් සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාමට දෙපාර්ශ්වයේම එකඟතාව පළ කෙරුණු අතර හැකි ඉක්මණින්  කෙටි කාලයක් තුළ අදාළ ගිවිසුමට එළැඹීමටද දෙපාර්ශවයම කැමැත්ත පළ කළහ.

UTSR: එක්සත් ජනපදයේ ජාත්‍යන්තර වෙළෙඳාම, වෙළෙඳ භාණ්ඩ, සෘජු ආයෝජන ප්‍රතිපත්තිය සංවර්ධනය සහ සම්බන්ධීකරණය මෙන්ම අනෙකුත් රටවල් සමඟ සිදු කරන සාකච්ඡා අධීක්ෂණය කිරීමේ වගකීම එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) සතු වේ. 

එහි ප්‍රධානියා වන්නේ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතයකු වන එරට ජනාධිපතිවරයාගේ ප්‍රධාන වෙළෙඳ උපදේශක, ගනුදෙනුකරු සහ වෙළෙඳ ගැටලු පිළිබඳ  ප්‍රකාශක යන වගකීම් දරන කැබිනට් සාමාජිකයෙකි.