PowerTech Premium සන්නාමය යටතේ සිමෙන්ති නිෂ්පාදනය කරන DHTහි පාලන කොටස් මිලදී ගැනීම සඳහා ධම්මික පෙරේරා විසින් යොදවා ඇති ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන් 20කි.
ධම්මික පෙරේරා විසින් මෙම ආයෝජනය සිදු කර ඇත්තේ ඔහුගේ Vallibel One PLC සමාගම යටතේ ආරම්භ කරන ලද නවතම ආයෝජන සමාගම වන Vallibel X හරහා වීම විශේෂත්වයකි.
මෙම 51%ක කොටස් හිමිකර ගැනීමේදී ඉන්දියානුවන් දෙදෙනෙක් හා ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුගෙන් සාමූහිකව ඇමරිකානු ඩොලර් මිලියන 8ක පමණ කොටස් මිලදී ගෙන ඇති අතර, සමාගම විසින් නිකුත් කරන ලද නව කොටස් මිලදී ගැනීම සඳහා තවත් ඩොලර් මිලියන 12 ක් ආයෝජනය කර ඇත.
ධම්මික පෙරේරා සිමෙන්ති කර්මාන්තයට පිවිසීම සිදුවන්නේ ඔහු විසින් පාලනය කරනු ලබන සමාගම් කිහිපයක් විසින් ටයිල්, ඇලුමිනියම්, වහල සූර්ය බලශක්තිය සහ ගෘහ උපකරණ ව්‍යාපාර කෙරෙහි පුළුල් උනන්දුවක් දක්වන මධ්‍යයේ වීම විශේෂත්වයකි.
DHT Cement: ඒකල පිහිටි DHT සිමෙන්ති සමාගමේ කම්හල දියුණු ජර්මානු ඉංජිනේරු විද්‍යාවෙන් සමන්විත වන අතර, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ පාරිසරික භාරකාරත්වය ඉහළ නැංවීමට නවෝත්පාදනය භාවිතා කරයි.
එසේම DHT සිමෙන්ති සමාගම සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති (OPC) අලෙවි කරන අතර, සියලු වර්ගවල ව්‍යාපෘති සඳහා බෑග් ආකාරයෙන් ප්‍රමුඛතම සන්නාමය ලෙස PowerTech Premium සිමෙන්ති අලෙවි කරයි.
එය මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති, ව්‍යුහාත්මක කටයුතු සහ ඉංජිනේරු යෙදුම් සඳහා තොග සිමෙන්ති ද සපයයි. පැයකට මෙට්‍රික් ටොන් 80 ක ස්ථාපිත ධාරිතාවක් සහිතව, DHT 10% වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
මෙහෙයුම් පරිසරය: 2024 දී ශ්‍රී ලංකාවේ මුළු සිමෙන්ති වෙළෙඳපොළ ටොන් මිලියන 4.45 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය 2023 ට සාපේක්ෂව 22% ක ඉහළ යාමකි.
මහ බැංකු දත්තයන්ට අනුව, 2023 සිට 2024 වසර අතරතුර දේශීය සිමෙන්ති නිෂ්පාදනය 31% කින් වර්ධනය වූ අතර එය ටොන් මිලියන 3.5 ක් ලෙස වාර්තා විය. අනෙක් අතට මෙම කාලය තුළදී සිමෙන්ති ආනයන 2.5% කින් පහළ යාමක් සිදු විය.
දේශීය නිෂ්පාදකයින් සහ ආනයනික නිෂ්පාදන අතර දැඩි තරගකාරිත්වය මධ්‍යයේ සිමෙන්ති කර්මාන්තය බහුවිධ ගැටලු වලට මුහුණ දෙයි. මේ වන විට සිමෙන්ති කර්මාන්තයේ ශ්‍රී ලංකාව තුළ ආධිපත්‍යය දරන්නේ Tokyo Cement සහ INSEE Sanstha Cement යන සමාගම් ය.
දේශීය සිමෙන්ති නිෂ්පාදකයින් මත අසාමාන්‍ය ලෙස බදු (PAL, Cess) හා ගාස්තු (para tariffs) අය කිරීම හේතුවෙන් මේ වන විට කිලෝ 50ක සිමෙන්ති බෑගයක මිල නියම කිරීමේදී මෙම බදු හා ගාස්තුවල දායකත්වය 22%ක් පමණ වේ.