
ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට පිළියම් සෙවීමේදී දේශගුණය සහ සොබාදහම සඳහා ණය හුවමාරුව නම් සංකල්පය යොදාගත හැකි බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ (IPS) පර්යේෂිකාවන් දෙපළක් වන ලක්මිණි ප්‍රනාන්දු සහ සුනිමලී මදුරාවල විසින් පළ කරන ලද blog සටහනක දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට පිළියම් සෙවීමේදී දේශගුණය සහ සොබාදහම සඳහා ණය හුවමාරුව නම් සංකල්පය යොදාගත හැකි බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ (IPS) පර්යේෂිකාවන් දෙපළක් වන ලක්මිණි ප්‍රනාන්දු සහ සුනිමලී මදුරාවල විසින් පළ කරන ලද blog සටහනක දැක්වෙයි.
2023 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට විදේශ ණය ගෙවීම පැහැර හැරීමට සිදු වූ අතර ඉන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඇමරිකානු ඩොලර් බිලියන 3 ක ණයක් ලබා ගැනීමට සිදු විය.
2023 අවසාන වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 92ක් වූ අතර, ඉන් 40%ක්ම විදේශ ණය විය.
ශ්‍රී ලංකාවේ ණය කළඹ සංකීර්ණ වන අතර 2022 සැප්තැම්බර් මාසයේදී චීනයට සහ ඉන්දියාවට ගෙවිය යුතු ණය මුළු විදේශ ණයෙන් 18% ක් (ද්විපාර්ශ්වික ණයවලින් 59%) විය.
මේ වන විට ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කර ඇත. කෙසේ වුවද මෙම පර්යේෂිකාවන් දෙදෙනාට අනුව සොබාදහම සඳහා ණය හුවමාරුව (Debt-for-Climate and Nature Swaps- DfCN) වැනි විකල්ප මූල්‍ය උපකරණ සඳහා ශ්‍රී ලංකාව විවෘත කිරීම හරහා රටට ප්රතිලාභ ලබා ගත හැකිය.
DfCN යනු කුමක්ද?: දේශගුණය සහ සොබාදහම සඳහා ණය හුවමාරුව යනු අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට ඔවුන්ගේ බාහිර ණය බර අඩු කර ගැනීමට ඉඩ සලසන මූල්‍ය යාන්ත්‍රණයන් වේ.
අඩු ආදායම් රටක් වන A ඉහළ ආදායම් රටකට හෝ ජාත්‍යන්තර මූල්‍ය ආයතනයකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ණයයි යැයි සිතමු. මෙම ණය පියවීමට A හට අපහසුය. නමුත් A රටේ ආරක්ෂා කර ගත යුතු වැසි වනාන්තරයක් ඇතැයි සිතමු. එවිට A හට සහනයක් ලෙස මුලු ණය මුදල වන ඇමරිකානු ඩොලර් මිලියන 500 වෙනුවට ඉන් අඩක් පියවීමට ණය හිමියා කැමති කරවා ගැනීම සඳහා දෙපාර්ශවයට DfCN නම් මූල්‍ය මෙවලම භාවිතා කළ හැකිය. ණය හිමියා විසින් A හට ලබා දෙන සහනය වන ඇමරිකානු ඩොලර් මිලියන 250 හා සමාන මුදලක් අර කලින් සඳහන් කළ වැසි වනාන්තරය ආරක්ෂා කිරීම සඳහා භාවිතා කරන බවට මෙහිදී A විසින් ප්‍රතිඥාවක් ලබා දිය යුතුය.
මේ ක්‍රමය මෙවලම භාවිතා කළ රටවල් මොනවාද? DfCN මෙවලම ප්‍රථම වරට 1984 දී ලතින් ඇමරිකාවේ පිරිහෙන නිවර්තන වැසි වනාන්තර සහ වැඩිවන ණය බැඳීම්වලට ප්‍රතිචාර වශයෙන් හඳුන්වා දෙන ලදී.
එතැන් සිට, බොහෝ රටවල් මූල්‍ය හා පාරිසරික අභියෝග යන දෙකම විසඳීම සඳහා DfCN හුවමාරු ක්‍රම අනුගමනය කරයි.
2002 දී, එක්සත් ජනපදය හෙක්ටයාර මිලියන 1 කට අධික කාන්තාර ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා, The Nature Conservancy (TNC) වැනි රාජ්‍ය නොවන සංවිධාන සමග ඒකාබද්දව පේරු රාජ්‍ය සමඟ ද්විපාර්ශ්වික හුවමාරු ක්රමයක නිරත විය.
2021 දී බෙලීස් TNC සමඟ ‘ත්‍රෛපාර්ශ්වික නිල් ආර්ථික හුවමාරු ක්රමයක’ නිරත වූ අතර එමඟින් එහි බාහිර ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% කින් අඩු විය.
එමෙන්ම 2023 දී, ඉක්වදෝරය ලොව විශාලතම DfCN හුවමාරුවට ඇතුළත් විය.
ශ්‍රී ලංකාව හා ගෝලීය තත්වය: ශ්‍රී ලංකාව චීනයෙන් ලබා ගෙන ඇති ඇමරිකානු ඩොලර් බිලියන 4.6 වන ණය සදහා පිලියමක් ලෙස මෙම පර්යේෂිකාවන් පෙන්වා දෙන්නේ චීනය හා ඊජිප්තුව අතර මෑතකදී සිදු වූ ණය හුවමාරු ව ශ්‍රී ලංකාවේ සන්දර්භයට අනුව වෙනස් කළ හැකි බවයි.
මීට අමතරව එක්සත් ජනපදය දැනටමත් ඉන්දුනීසියාව, බොලිවියාව, පේරු සහ ගෝතමාලාවසමඟ DfCN හුවමාරුවල නිරත වී සිටීම සහ දේශගුණික විපර්යාස සදහා ලොව පුරා ඇති වී තිබෙන කතාබහ ශ්‍රී ලංකාවේ සන්දර්භයට ආදේශ කල හැකි බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.
මෙවැනි විකල්ප මූල්‍යමය මෙවලම් භාවිතා කිරීමෙන් ශ්‍රී ලංකාවට පවත්නා ආර්ථික ගැටලු වලට අමතරව දේශගුණික විපර්යාස සහ ස්වභාවධර්මය සම්බන්ධයෙන් වන ගැටලුවලටද සාර්ථකව මුහුණ දිය හැකි බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පර්යේෂිකාවන් දෙදෙනා සිය blog සටහන හරහා පෙන්වා දෙයි.