විනිවිද
දියුණු පොදු ප්‍රවාහන සේවයක් නොමැතිව දියුණු රටක් වෙන්න බැරි ඇයි?
image for දියුණු පොදු ප්‍රවාහන සේවයක් නොමැතිව දියුණු රටක් වෙන්න බැරි ඇයි?

ශ්‍රී ලාංකීය පොදු ප්‍රවාහනය යනු ශ්‍රී ලංකාව තුන්වන ලෝකයේ රටක් බවට තහවුරු කරන සංකේතයකි. දුම්රිය යන එන වෙලාවක් කිව නොහැක. කිසිදු දැනුම් දීමක් නොමැතිව දුම්රිය පැය ගණන් ප්‍රමාද වෙයි. බස් රථ රියදුරන් මාර්ග නීති උල්ලංඝණය කරමින් සිදු කරන අපරික්ෂාකාරී රිය ධාවනය නිසා සිදුවන අනතුරු ද ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්තිවලට සුලබව දක්නට ලැබේ. 

කොටින්ම කිවහොත් පොදු ප්‍රවාහනය භාවිතා කරන මගියෙකුගෙන් ඒ සම්බන්ධයෙන් හොඳක් අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලංකාවෙ පොදු ප්‍රවාහනය අවුල් ජාලවකි. ලංකාවේ දහසකුත් එකක් ප්‍රශ්න හමුවේ මෙය තවත් එක් බරපතල ප්‍රශ්නයක් පමණි. නමුත් මෙම තත්වය වෙනස් කළ යුතු නොවේද? 

පොදු ප්‍රවාහනය ඔය කියන තරම් වැදගත් ද ?

නොදියුණු පොදු ප්‍රවාහනයක් සහිත දියුණු රටවල් ලෝකයේ ඇත්තේ අතලොස්සක් පමණි. මක් නිසාද යත් ශීඝ්‍ර ආර්ථික දියුණුව අත් පත් කර ගැනීමට නම් දියුණු පොදු ප්‍රවාහන සේවයක් අත්‍යවශ්‍ය වන බැවිනි .දියුණු රටක් යනු දුප්පත්, පොහොසත් සැවොම පොදු ප්‍රවාහනය භාවිතා කරන රටක් විනා පොදු ප්‍රවාහනය දුප්පතුන්ට සීමා වූ රටක් නොවේ.

ලංකාව යනු වසරකට මාර්ග අනතුරු 30,000 ක් පමණ වන රටකි. ඒක පුද්ගල ආදායම ඩොලර් 4000ට අඩු රටවල් අතර ඉහළම වාහන අයිතිය ඇති රට වන්නේ ද ශ්‍රී ලංකාවයි.

ශ්‍රී ලංකාවට පසුව විවෘත ආර්ථික ක්‍රමය වැළඳගත් අපගේ අසල්වැසි ඉන්දියාව පවා ප්‍රථමයෙන් සිදු කළේ තම රටේ පොදු ප්‍රවාහනය දියුණු කිරීමයි. වර්තමානය වනවිට ඉන්දියාවේ දියුණු මෙට්‍රෝ පද්ධතියක් හා විද්‍යුත්කරණය වූ දුම්රිය සේවයක් ඇත.

විදෙස්ගත වන බොහෝ ශ්‍රී ලාංකිකයන් එම රටවල ඇති පොදු ප්‍රවාහනය දැක මවිතයට පත් වීමෙන් ද පෙනී යන්නේ ශ්‍රී ලාංකික පොදු ප්‍රවාහනයේ ගැටලුවක් පවතින බවයි.

කොහෙද වැරදුණේ?

“අධිරාජ්‍යවාදීන් මේ රට අපට බාර දීලා යන කොට ලංකාව ආර්ථිකව හොඳ තැනක තිබුණා….ජපානයට දෙවෙනි හොදම පොදු ප්‍රවාහන සේවය තිබුණේත් ලංකාවේ….. පස්සේ ඒ දෙකම වැටුනා. කොළඹ ට්‍රෑම් රථ තිබුණා…. ඩබල් ඩෙකර් බස් තිබුණා.” 

මෙසේ කියන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන කළමණ‍ාකරණ හා කාර්යෝපාය ඉංජිනේරු අධ්‍යනාංශයේ සම්මානිත මහාචාර්ය අමල් කුමාරගේ  විසිනි.

එතුමා ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ මේ වන විට සිටින ප්‍රාමාණික උගතෙක් වන අතර, ශ්‍රී ලංකාවේ කිසිදාක, කිසිම රජයක් යටතේ නිසි ලෙස ක්‍රියාත්මක නොවූ ප්‍රවාහන ප්‍රතිපත්තීන් රට වෙනුවෙන් නිර්මාණය කිරීමට දායක වූ පුද්ගලයෙකි

ශ්‍රී ලංකාව දිගින් දිගටම අනුගමනය කර ඇති පොදු ප්‍රවාහන සේවා වැඩි දියුණු කරනවා වෙනුවට පෞද්ගලික වාහන භාවිතය දිරිගන්වනු ලබන ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් මහාචාර්ය කුමාරගේ අපගේ Neon YouTube චැනලය සමග කළ සාකච්ඡාවකදී මෙසේ අදහස් දැක්වීය.

“අවාසනාවකට ලංකාවේ ප්‍රවාහනය ප්‍රතිපත්තිය, රටක් ජාතික විදුලි බල පද්ධතියෙන් බල ගන්වනවා වෙනුවට තනි තනි පුද්ගලයාට ජෙනරේටර් ලබා දීමකට සමානයි.”

සෑම අයවැයකදීම රජය විශාල මුදලක් ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා වෙන් කළද, ඉන් 85%ක් පමණම වැය කරනු ලබන්නේ පවතින මාර්ග පද්ධතියේ නඩත්තුවටය.

ආකල්පමය වෙනසක අවශ්‍යතාවය

අප එතුමා සමග කළ සාකච්ඡාවෙදී, ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලාංකික අපගේ ආකල්පමය වෙනසක අවශ්‍යතාවය ද මතු විය. ඔහු පැවසුවේ වාහනයක් හිමි කරගැනීම සංවර්ධනයක් ලෙස දකින තාක් සහ වාහනය ආයෝජනයක් ලෙස දකින තාක් ලංකාවේ පොදු ප්‍රවාහනය දියුණු කිරීම අපහසු බවය.

එමෙන්ම 1958 න් පසු ගමට තාර පාරක්, ගමට බස් එකක් යනාදී වශයෙන් ඉල්ලීම් ඇති වූ නමුත් අද වන විට එම පාරවල්වත්, බස්වත් නොමැති බව ඔහූ සඳහන් කළේය. මීට හේතුව ලෙස ඔහු පැවසුවේ එම දේවල් ගමට ගියද ගමට සංවර්ධනය නොගිය නිසා එම සේවාවන්වලින් නිසි ප්‍රයෝජන ගැනීමට ගම අසමත් වූ බවය.

අනෙක් අතට ශ්‍රී ලංකාව යනු වාහන හෝ වාහන ආශ්‍රිත උපාංග නිෂ්පාදනය නොකරන රටකි. එසේම වාහන ධාවනයට අවශ්‍ය සියලුම ඉන්ධන වෙනත් රටවලින් ආනයනය කිරීමද සිදු කරයි. එහි තේරුම වන්නේ වාහන, උපාංග හා ඉන්ධන සදහා අතිවිශාල විදේශ විනිමයක් රටින් පිටවන බවයි. තවමත් ආර්ථික අර්බුධය සමග සටන් කරන රටක් මෙලෙස පොදු ප්‍රවාහනයට මුල් තැන නොදී අතිවිශාල ලෙස මුදල් නාස්ති කිරීමක් සිදුකිරීම ඉදිරියේදී තවත් ආර්ථික අර්බුධයන්ට අත වැනීමක් වනු ඇති බව මහාචාර්ය කුමාරගේගේ අදහසයි. 

තත්වය මෙසේ තිබියදී ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට පෞද්ගලික භාවිතය සඳහා වාහන නැවත ආනයනය කිරිමට රජය ගත් තීරණය කෙතරම් කාලෝචිත ද? එය තවත් ආර්ථික අර්බුධයකට මංපෙත් විවර විමක් විය නොහැකිද?