ආර්ථික
Explainer: ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අත්සන් කළා…ඉතින් ඊට පස්සේ? 
image for Explainer: ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අත්සන් කළා…ඉතින් ඊට පස්සේ? 

පසුගිය සති දෙක ඇතුළත ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අතිශයින් වැදගත් ගිවිසුම් කිහිපයකට අත්සන් තබන ලදී.

මෙහිදී ද්විපාර්ශවික ණය හිමියන්වන පැරිස් සමූහයේ (Paris Club) රටවල් ප්‍රමුඛ නිල ණයහිමියන්ගේ කමිටුව හා චීන අපනයන හා ආනයන බැංකුව (China Exim Bank) සමග සහ වාණිජ ණය හිමියන් වන ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කර හිමියන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සමගත් ගිවිසුම් අත්සන් කරන ලදී. 

ප්‍රතිව්‍යුහගතකරණය ලක් වෙන ණය ප්‍රමාණයන්: ශ්‍රී ලංකා රජයේ නිවේදනයන්ට අනුව ප්‍රතිව්‍යුහගතකරණයට ලක් වෙන ණය ප්‍රමාණයන් මෙසේය.

  • ද්විපාර්ශවික ණය: ඇ.ඩො.බි 10 (නිල ණය හිමියන්  සමග ඇ.ඩො.බි 5.8ක් හා චීන අපනයන හා ආනයන බැංකුව සමග ඇ.ඩො.බිලියන 4.2)
  • ස්වෛරී බැඳුම්කර හිමියන්ගෙන් ලබාගත් ණය: ඇ.ඩො.බි 12.5 

එකඟතාවයන්ගේ සාරාංශය: මේ වන තෙක් අත්සන් තැබූ එකඟතාවයන් පාර්ලිමේන්තුවට හෝ මහජනයාට ඉදිරිපත් කර නොමැත. නමුත් නිකුත් කර ඇති ප්‍රකාශ හා ජානාධිපතිවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශයන්ට අනුව මේ ගිවිසුම්වලට අදාළ පහත මූලික කරණු දැක්විය හැකිය.

  • ද්විපාර්ශවික ණය හිමියන් ඔවුන් සතු ණයවල මුහුණත අගය අඩු කිරීමට එකඟ වී නොමැත.
  • ඔවුන් එකඟ වී ඇත්තේ: 1) ණය නොගෙවන සහන කාලයක් ලබා දීමට 2) ණය ගෙවීමේ කාලය දීර්ඝ කිරීමට හා 3) ණය මත අය කෙරෙන පොලිය යම් පමණයකට අඩු කිරීමටයි.
  • මේ අනුව ණය ගෙවීම ආරම්භ වන්නේ 2028 වර්ෂයේ සිටය. එසේම ණය ගෙවීම අවුරුදු 15ක කාලයක් පුරා, එනම් 2042 දක්වා සිදු කළ හැකිය.
  • එසේම මෙම එකඟතාව හරහා ශ්‍රී ලංකාවට ඇ.ඩො.බිලියන 5ක පොලී ණය සහනයක් ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.
  • ස්වෛරී බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව ඇති කරගත් එකඟතාවයට අනුව ඇ.ඩො.බි.3ක ණය අහෝසිවීමක් (debt write-off) සිදුවන බව ජනාධිපතිවරයා පවසයි.
  • මෙහිදී ශ්‍රී ලංකාව විසින් මේ වන විට නිකුත් කර ඇති බැඳුම්කර වෙනුවට අලුත් බැඳුම්කර වාණිජ ණය හිමියන් වෙත නිකුත් කිරීමට නියමිතය.
  • ඒවා අතර ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනයට ඈඳූ බැඳුම්කර නිකුත් කිරීමට නියමිතය.
  • මෙහිදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය 2025-2027 කාලය තුළ ඇ.ඩො.බි 100 ඉක්මවා ගියහොත් ශ්‍රී ලංකාවට ලැබෙන ණය සහනය (haircut) 15%ක් පමණ වේ.
  • එම කාලය තුළ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇ.ඩො.බි 84.7ට පහළින් තිබුණහොත් ශ්‍රී ලංකාවට හිමි වන ණය සහනය 40%ක් දක්වා වැඩි වෙයි.
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනයන්ට අනුව 2025-2027 කාලයේදී ශ්‍රී ලංකාවේ  දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍යය ඇ.ඩො.බි.88.6කි. ඒ අනුව ශ්‍රී ලංකාවට ලැබෙන ණය සහනය වන්නේ 28%කි. 
  • ඒසේම 2022 අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව විසින් ණය නොගෙවීම හේතු කොට ගෙන එකතු වී ඇති පොලිය සඳහා 11%ක ණය සහනයක් ලබාදීමටත් වාණිජ ණය හිමියන් එකඟ වී ඇත.
  • ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇ.ඩො.බි.37ක් පමණ වේ. ඒ අනුව මෙම ඇතිකරගත් එකඟතාවන්ට ඇතුළත් වන්නේ එම ණය ප්‍රමාණයෙන් ඇ.ඩො.බි. 22.5ක් පමණි.
  • බහුපාර්ශවික ආයතනයන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබා ගත් ණයද විදේශ ණය ගොඩට අයත් වෙයි. එම ප්‍රමාණය ඇ.ඩො.බි. 11.7කි. මෙම ණය කිසිදු ආකාරයක ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් නොවේ. මන්ද යත් මෙම ආයතන වෙත ගෙවීමට නියමිතව ඇති ණය ගෙවිම පැහැරහැරීමක් සිදු නොවුණු බැවිනි.

ඊලඟට මොකද වෙන්නේ? : ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ඇති කරගත් එකඟතාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ නිල ණයහිමියන්ගේ කමිටුවට ඉදිරිපත් කළ යුතුය.

  • මෙම ඇතිකරගත් එකඟතාව මගින් ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය සඳහා වන ඉලක්කයන් සපුරා ගත හැකි දැයි ජාත්‍යන්තර මූල්‍යල අරමුදල විසින් සලකා බලනු ඇත. ශ්‍රී ලංකාව 2032 වන විට රාජ්‍ය ණය හා දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතය 95% දක්වා අඩු කර ගත යුතුය. 2027 සහ 2032 අතර දළ මුල්‍ය අවශ්‍යතාවය 13% දක්වා පහත හෙලීමට අවශ්‍ය වන අතර එම කාලය තුළ විදේශ ණය සේවාකරණය 4.5% දක්වා අඩු කර ගත යුතුය.
  • නිල ණය හිමියන්ගේ කමිටුව විසින් ශ්‍රී ලංකාව ස්වෛරී බැඳුම්කර හිමියන් සමග ඇති කරගත් එකඟතාව comparability of treatment යන සංකල්පයට එකඟදැයි පරීක්ෂා කිරීම. 
  • තවද මෙම එකඟතාවයන්ගෙන් පිටත පවත්නා ණය මුදල් සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාව එම ණයකරුවන් සමග එකඟතා ඇති කරගත යුතුය.
  • එම ණයකරුවන් අතර ස්වෛරී බැඳුම්කර මිලදී ගත් ශ්‍රී ලාංකික බැංකු හා චීන සංවර්ධන බැංකුවද (China Development Bank) වෙයි. 

බංකොලොත් ලේබලය අයින් වෙයිද? : පසුගිය සතියේදී මාධ්‍යවේදියෙකු විසින් රාජ්‍ය මුදල් ඇමති ශෙහාන් සේමසිංගගෙන් විමසූ විට මේ සම්බන්ධයෙන් විමසූ විට ඍජු පිළිතුරක් ඔහුගෙන් නොලැබුණි.

බංකොලොත් ලේබලය අයින් වීමට නම් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ යා යුතුය. මේ වන විට ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ‘Restricted Default’ හා ‘Selective Default’ වේ.

සේමසිංහ රාජ්‍ය ඇමතිවරයා පැවසූයේ ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීම ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතන විසින් ඉදිරියේදී සිදු කරනු ඇති බවත්, ඒ සඳහා ගැළපෙන පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය අඩිතාලම මෙම ප්‍රතිව්‍යුහගතකරණ එකඟතාවයන් හරහා ලැබී ඇති බවත් ය.

ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවද? : මෙම ගිවිසුම් හරහා මහජනතාවට එක් වරම ප්‍රතිලාභයක් ලැබේ යැයි අදහස් කළ නොහැක. රටේ ණය බර අඩුවීමේ සහනය ක්‍රමානුකූලව ඉදිරියේදී මහජනයා වෙත ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

කෙසේ වුවද ණය නොගෙවීම නිසා ඇණහිට ඇති විදෙස් ණය පහසුකම් මත ක්‍රියාත්මක වන සංවර්ධන හා යටිතල පහසුකම් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට මෙම ගිවිසුම් නිසා ශ්‍රී ලංකාවට හැකි වනු ඇත. විශේෂයෙන්ම උග්‍ර අර්බුධයකට ලක් වී ඇති ගොඩනැගිලි ඉදිකිරීම් වැනි ක්ෂේත්‍ර මෙමගින් නැවත යථා තත්වයට පත් වනු ඇත.

එසේම ජාත්‍යන්තර බැංකු පද්ධතිය සමග ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියේ ගනුදෙනු සාමාන්‍ය තත්වයට පත්වීමද මෙම ගිවිසුම් නිසා සිදු වනු ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඇති කර ගෙන ඇති මෙම ප්‍රතිව්‍යුහගතකරණ එකඟතා අනුව සියලු ද්විපාර්ශවික ණය ගෙවීම අවසන් වන්නේ 2043 වසරේදීය. ස්වෛරී බැඳුම්කර හිමියන්ගේ ණය ගෙවීම අවසන් වන්නේ 2038 වසරේදීය.