කාලීන
හෝටල්වල Happy Hour නැති වෙයිද?

Happy Hour ලෙස නම් කරමින් ලංකාවේ සමහර හෝටල් මද්‍යසාර නිෂ්පාදන සඳහා වට්ටම් ලබාදීම, දුම්කොළ සහ මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් ලංකාවේ මේ වන විට පවතින නීතියට පටහැනි බව දුම්කොළ සහ මත්පැන් පිළිබඳ ජාතික අධිකාරිය (NATA) පවසයි.

එම අධිකාරියට අනුව මෙසේ වට්ටම් ප්‍රදානය කරමින් මත්පැන් අලෙවි කිරීම, 2006 දුම්කොළ සහ මත්පැන් පිළිබඳ ජාතික අධිකාරි පනතේ 37 (2) වගන්තිය පැහැදිලි ලෙස උල්ලංඝනය කිරීමකි.

“කිසිම තැනැත්තෙකු විසින් යම් දුම්කොළ නිෂ්පාදනයක් හෝ මද්‍යසාර නිෂ්පාදනයක් මිලට ගැනීම සැලකිල්ලට ගෙන එම නිෂ්පාදන මිලට ගන්නෙකුට හෝ එසේ මිලදී ගත් බව සනාථ කිරීමට ඉදිරිපත් කරන කරුණු සැලකිල්ලට ගෙන යම් තැනැත්තෙකුට යම් ත්‍යාගයක්, තුටු පඬුරක්, ප්‍රතිදානයක්, වට්ටමක් හෝ යම් තරගයකට, ලොතරැයියකට හෝ ක්‍රීඩාවකට සහභාගී වීමේ අයිතිවාසිකමක් පිරිනැමීම නොකළ යුතු ය.” –  2006 දුම්කොළ සහ මත්පැන් පිළිබඳ ජාතික අධිකාරි පනතේ 37 (2) වගන්තිය.

දඬුවම්: දුම්කොළ සහ මත්පැන් පිළිබඳ ජාතික අධිකාරි පනත අනුව මෙම නීතිය කඩ කරන පුද්ගලයින් හට මහේස්ත්‍රාත්වරයෙකි ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබීමේදී රුපියල් පන් දහසකට නොවැඩි දඩයකට හෝ අවුරුදු දෙකකට නොවැඩි කාලයක් සඳහා වූ බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගරගත කිරීම යන දඬුවම් දෙකටම යටත් කළ හැකිය.

මේ අනුව, මේ සම්බන්ධයෙන් සියලු හෝටල් සඳහා බලපැවැත්වෙන අයුරින් නියෝගයක් නිකුත් කිරීමට දුම්කොළ සහ මත්පැන් පිළිබඳ ජාතික අධිකාරිය සූදානම් වන බව වාර්තා වේ.