කාලීන
ඉන්දියාව සමග එක්ව යුද්ධෝපකරණ නිෂ්පාදනයට ශ්‍රී ලංකාව සැරසෙයි!

ශ්‍රී ලංකාව තුළ යුද්ධෝපකරණ නිෂ්පාදන ඒකකයක් පිහිටුවීම සඳහා ඉන්දීය යුද්ධෝපකරණ නිෂ්පාදකයින් සමග සාකච්ඡා කරමින් සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

ශ්‍රී ලංකාව තුළ යුද්ධෝපකරණ නිෂ්පාදන ඒකකයක් පිහිටුවීම සඳහා ඉන්දීය යුද්ධෝපකරණ නිෂ්පාදකයින් සමග සාකච්ඡා කරමින් සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

ඔහු මේ බව පැවසුවේ, කොළඹදී අද (මැයි 15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“කුඩා අවි නිෂ්පාදන ඒකකයක් පිහිටුවන්න අපි ඉන්දියාව එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා. අපි තේරුම් ගන්න ඕන දේ තමයි ඉන්දීය ආරක්ෂක නිෂ්පාදන අංශය පහුගිය දශක දෙක තුළ වර්ධනය වුණා කියන එක. ඒක අපි සොයා බැලිය යුතු ආකෘතියක්. අපිට ඒ ඉන්දීය ආකෘතියෙන් ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගෙන් ඉගෙන ගන්න එකේ කිසිම වැරැද්දක් නැහැ. මම හිතනවා අපි නිෂ්පාදනයට සම්බන්ධ වෙන්න ඕන කියලා,” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා සිය අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා හමුදාව මේ වන විටත් යුද්ධෝපකරණ හා අවි නිෂ්පාදනයේ නියැළෙන නමුත් එය අපේක්ෂිත මට්ටමක නොපවතින බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. එම නිසා ඉන්දීය සහය ඇතිව දැනට වඩා යමක් කළ හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.

අපනයනවල දස ගුණයක වර්ධනයක්: ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ, ඉන්දීය ආරක්ෂක නිෂ්පාදන අපනයනය පසුගිය වසර පහ තුළ ඩොලර් බිලියන 2.6කට ආසන්න අගයක් දක්වා දස ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි.

ආනයන භූමිකාවෙන් අපනයන භූමිකාවට: ඉන්දියාවේ ආරක්ෂක නිෂ්පාදන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සැලකූ විට රටට අවශ්‍ය ආරක්ෂක උපකරණ ආනයනය කරමින් සිටි ඉන්දියාව 2022-23 මූල්‍ය වර්ෂයේදී ආරක්ෂක උපකරණ අපනයනයෙන් සැලකිය යුතු ජයග්‍රහණයක් අත් කරගෙන ඇති බව The Times of India වෙබ් අඩවියේ සඳහන් වේ. එහි සඳහන් වන්නේ, එම ඉහළ යාම ඉන් පෙර මූල්‍ය වර්ෂයට වඩා ඉන්දීය රුපියල් කෝටි 3,000ක පමණ ඉහළ යාමක් බවයි. 

2023 වන විට ඉන්දියාව රටවල් 85කට අධික සංඛ්‍යාවකට ආරක්ෂක උපකරණ අපනයනය කළ බව එම වෙබ් අඩවියේ සඳහන් වේ.

තව ද ඉන්දියාව ආරක්ෂක නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම ඉන්දීය රජයේ ද අරමුණ වී තිබිණි. The Times of India වෙබ් අඩවිය පවසන්නේ, වසර 8කට 9කට ඉහතදී ආරක්ෂක උපකරණ සම්බන්ධයෙන් ශුද්ධ ගැනුම්කරුවෙකු ලෙස හඳුනාගෙන සිටි ඉන්දියාව මේ වන විට ඩෝනියර් – 228, මිලිමීටර් 155 කාලතුවක්කු (Advanced Towed Artillery Guns – ATAGs),  විවිධ වර්ගයේ මිසයිල වර්ග, රේඩාර්, PINAKA රොකට්, ශරීර සන්නාහ, ආරක්ෂිත වාහන වැනි ප්‍රධාන පෙළේ යුද්ධෝපකරණ මෙන්ම කුඩා යුද්ධෝපකරණ ද අපනයනය කරන බවයි.

තව ද සැහැල්ලු සටන් ගුවන් යානා, සැහැල්ලු හෙලිකොප්‍ටර්, ගුවන් යානා වාහක සහ නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු සඳහා ද ඉන්දියාවට ලොවේ නන් දෙසින් විශාල ඉල්ලුමක් පවතී.