ව්‍යාපාරික
ලංකාවේ සමාගමක් එංගලන්තයේ ඓතිහාසික හෝටලයක් මිලට ගනී!
image for ලංකාවේ සමාගමක් එංගලන්තයේ ඓතිහාසික හෝටලයක් මිලට ගනී!

ශ්‍රී ලංකාවේ දැඩිගම සමූහ ව්‍යාපාරයට අයත් සමාගමක් වන Lavendish Leisure විසින් එක්සත් රාජධානියේ ශාන්ත මේරි ගේට්, ඩර්බි නගර මධ්‍යයේ පිහිටි ඓතිහාසික Cathedral Quarter හෝටලය මිල දී ගෙන ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා අනුව, දැඩිගම පවුලේ සාමාජිකයෙක් වන රශ්මි දැඩිගම හා පීටර් කරන් විසින් 2010දී දිවංගත දෙවන එලිසබෙත් රැජින ආහාර ගත් මෙම හෝටලය හෙළි නොකළ මුදලකට මිල දී ගෙන ඇත.

ඓතිහාසික වටිනාකම: වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පයට අයත් මෙම ගොඩනැගිල්ල විශේෂිත හෝටලයක් (boutique hotel) වීමට පෙර අතීතයේදී පොලිස් ස්ථානයක් ලෙස ද භාවිතා වූ බව වාර්තා වේ.

2008 වසරේදී පෙර අයිතිකරුවන් වන The Finesse Collection මෙම දේපළ මිල දී ගෙන එය විශේෂිත හෝටලයක් බවට පරිවර්තනය කළේය. 

මොසෙයික් තට්ටු, පැල්ලම් සහිත වීදුරු ජනේල සහ මහා මධ්‍යම පඩි පෙළක් ඇතුළු වික්ටෝරියානු යුගයට අයත් ලක්ෂණ මෙම ගොඩනැගිල්ලෙහි දැකගත හැකිය.

කාමර 38කින් සමන්විත මෙම හෝටලයේ Bogart’s නම් කොක්ටේල් බාර් එකක් ද, Opulence නම් බ්‍රිතාන්‍ය අවන්හලකින් ද සමන්විතය.

බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා අනුව Lavendish Leisure විසින් එංගලන්තයේ මිල දී ගනු ලැබූ දෙවන හෝටලය වන්නේ මෙයයි.

kentonline.co.uk නම් වෙබ් අඩවියෙහි පළවූ වාර්තාවකට අනුව, 2021දී Lavendish Leisure විසින් 1825දී ශ්‍රීමත් එඩ්වර්ඩ් බෑන්ක්ස් විසින් Sheerness හි ඉදිකරන ලද වසර 196ක් පැරණි Royal Hotel නම් හෝටලය බ්‍රිතාන්‍ය පවුම් 600,000කට මිල දී ගන්නා ලදී.

දැඩිගම සමූහය: 1950දී ආරම්භ කරන ලද දැඩිගම සමූහ ව්‍යාපාරය මුල්‍ය සේවා, ස්වර්ණාභරණ, මැණික් වෙළෙඳාම සහ අපනයන, ආගන්තුක සත්කාර, දේපළ වෙළඳාම් සහ වැවිලි ඇතුළු විවිධාංගීකරණය වූ සමාගමකි.

දැඩිගම සමූහ ව්‍යාපාරයට ලංකාව පුරා රන් ණය මධ්‍යස්ථාන 200කට අධික ප්‍රමාණයක්, මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනාගාර 15කට අධික ප්‍රමාණයක් ඇති අතර එම සමූහයේ සමස්ත කාර්ය මණ්ඩලය සේවකයින් 2,000 ඉක්මවයි.

සමාගමේ වෙබ් අඩවියට අනුව, එම සමාගම හෝටල් සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 2005 වසරේදීය. ලංකාව තුළ මේ වන විට එම සමාගමට අයත් හා එම සමාගම විසින් කළමනාකරණය කරනු ලබන තරු පන්තියේ හෝටල් 8ක් පමණ ඇත. ඒවා උණවටුන, හංවැල්ල, දඹුල්ල, සීගිරිය, කතරගම, අනුරාධපුර හා හබරණ පිහිටා ඇත.