
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කම්කරු කොංග්‍රස මැයි රැලිය අමතමින් මේ සතියේදී පැවසීය.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කම්කරු කොංග්‍රස මැයි රැලිය අමතමින් මේ සතියේදී පැවසීය.
කම්කරු කොංග්‍රසයේ ආරාධනය පරිදි කොටගල මහජන ක්‍රීඩාංගණයේ පැවති මැයි දින රැලියට සහභාගී වූ ජනාධිපතිවරයා පැවසුවේ, ලයිම් කාමර, නීතියෙන් ගම්මාන බවට පත් කර ඒවායේ ද පහසුකම් සංවර්ධනය කරන බවයි.
මෙම අප්‍රේල් 30 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි වතු කම්කරු වැටුප් ඉහළ නංවමින් රජය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී. ඒ අනුව වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රු. 1,700කි.
ගැසට් නිවේදනය: http://documents.gov.lk/files/egz/2024/4/2382-04_S.pdf
වතු සමාගම් නඩු මගට?: වතු කම්කරුවන්ගේ වැටුප රු. 1,700 දක්වා වැඩි කිරීම සම්බන්ධව තේ වතු සමාගම් සමග සාකච්ඡා නොකොට වැටුප් වැඩි කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කර ඇතැයි වතු සමාගම් පැවසූ බව මාධ්‍ය වාර්තා කළේය.
වතු හාම්පුතුන්ගේ සංගමය පවසා ඇත්තේ තේ කිලෝවක නිෂ්පාදන පිරිවැය ඉහළ බැවින් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් රු. 1,700 දක්වා වැඩි කළ නොහැකි බවය. තව ද අදාළ ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලා වතු සමාගම් අධිකරණය හමුවට යාමට පියවර ගෙන තිබේ යැයි මාධ්‍ය වාර්තා කළේය.
වතු කම්කරු වැටුප් ඉහළ යාම:
කෙසේ නමුත් මේ ආකාරයෙන්ම වතු කම්කරුවන්ට වැටුප් වැඩි වූයේ නැත. වතු හාම්පුතුන් විසින් අදාළ වැටුප් නිසි ආකාරයෙන් නොගෙවීම හේතුවෙන් රජය විසින් ප්‍රකාශයට පත් කළ දෛනික වැටුප් ඉල්ලා සටන් කිරීමට වතු කම්කරුවන්ට සිදු විය.
වතු කම්කරුවන් කොහෙන්ද ආවේ?:
‘උඩරට කඳුකර සිරියා පරදන රූබර මුහුණ ඔබේ
රතැඟිලි දිගුකොට මඳහස නංවන
තේ දලු නෙළන ළඳේ’
තේ වතු කම්කරුවන්ගේ ජීවිතය මේ ගීතයේ කියන තරමටම සුන්දර නොවූ එකකි. ශ්‍රී ලාංකීය ඉතිහාසය තුළ ‘කෝපි කාලය’ ලෙස හැඳින්වූ කාලයේදී කෝපි වගාවේ කටයුතු සඳහා ඉන්දියාවේ තමිල් නාඩු කම්කරුවන් ලංකාවට රැගෙනවිත් ඇත. ඒ 1823 වර්ෂයේදීය.
1840 වර්ෂයෙන් පසු කාලයේදී කෝපි වගාවේ පරිහානිය ආරම්භ වූ අතර 1849 පමණ වන විට මෙරට කෝපි වගාව සැලකිය යුතු මට්ටමකින් පහළ ගියේය.
ඒ සමගම තේ වගාව ක්‍රමයෙන් ප්‍රචලිත වූ අතර මෙරට ජනතාව තේ වතුවල කුලියට වැඩ කිරීමට අකමැති වීම හේතුවෙන් දකුණු ඉන්දීය දෙමළ ජාතිකයන් විශාල වශයෙන් තේ වතුවල වැඩ කිරීම සඳහා බ්‍රිතාන්‍යයන් විසින් මෙරටට ගෙන්වා ඇත.
වතු වෘත්තීය සමිති: වතුකරයේ ජනතාව ආර්ථික, සමාජයීය, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් පීඩාවට පත් වූ ජන කොට්ඨාසයකි. වතුකරයේ මුලින්ම බිහි වූ කම්කරු නායකයා වන්නේ සෞම්‍යමූර්ති තොණ්ඩමන්ය. ඔහු ලංකා කම්කරු කොංග්‍රසයේ ද සාමාජිකයෙකු වූ අතර 1960දී පාර්ලිමේන්තු වරම් ද ලැබීය.
ලංකාවේ මුල්ම වතු කම්කරු සටන ඇති වූයේ හේවාහැට ආසනයට අයත් මුල්ඔය වත්ත මුල් කරගෙනය. එහි කම්කරුවෝ 1940දී වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර එයට නායකත්වය දුන්නේ සමසමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ය. වතු කම්කරුවෙකු මුල්ම වරට සටන් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූයේ ද මෙම සටනේදී වන අතර පොලිස් වෙඩි ප්‍රහාරයකින් එම කම්කරුවා මිය ගියේය.
වර්තමානය වන විට උඩරට මෙන්ම පහතරට වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෘත්තීය සමිති ගණනාවක් බිහි වී තිබේ.
වතු කම්කරුවන්ගේ ගැටලු: වතු කම්කරුවන් මෙරට ජන කොට්ඨාසයක් ලෙස පිළිගැනීමට ලක් නොවීම, ඔවුන්ට අනන්‍යතාවක් නොමැති වීම, ලිපින නොමැති වීම ඇතුළු ගැටලු රැසකින් ඔවුන් අතීතයේ පටන්ම පීඩා විඳින්නට විය. වැටුප් වැඩිවීම් කෙරුණ ද නිසි ලෙස එය ඔවුන්ට නොලැබීම හේතුවෙන් ඔවුන්ට සිය වැටුප් අයිතිය වෙනුවෙන් සටන් කිරීමට අවස්ථා ගණනාවකදී සිදු විය. විශේෂයෙන්ම මැතිවරණ සමයන්හිදී ඔවුන් දේශපාලන අතකොළුවක් බවට පත්වීම මෑත ඉතිහාසය පුරාවටම දක්නට ලැබිණි.