
බිලියන 1.4ක් වන ඉන්දියානු ජනගහනයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම්ලත් මිලියන 969ක් පමණ ජනතාවට නව අගමැතිවරයෙකු හා රජයක් පත් කර ගැනීම සඳහා සිය ඡන්දය භාවිතා කිරීමට අද දින සිට හැකියාව ඇත.

බිලියන 1.4ක් වන ඉන්දියානු ජනගහනයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම්ලත් මිලියන 969ක් පමණ ජනතාවට නව අගමැතිවරයෙකු හා රජයක් පත් කර ගැනීම සඳහා සිය ඡන්දය භාවිතා කිරීමට අද දින සිට හැකියාව ඇත.
ඉන්දියානු ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව සමස්ත උතුරු ඇමරිකාවේ හා යුරෝපා සංගමයේ ඒකාබද්ධ ජනගහනයට වඩා ඉහළය. එබැවින් මෙය ලෝකයේ විශාලතම ඡන්දය ලෙස හැඳින්වෙයි.
ඡන්දය සිදුවෙන්නේ කෙසේද: අද දින සිට ඉදිරි සති හයක කාලය ඇතුළත අදියර හතක් යටතේ ඉන්දියානුවන්ට සිය ඡන්දය ප්‍රකාශයට පත් කිරීමට හැකි වෙනු ඇත. ඒ අනුව ජූනි 1 වැනිදා ඡන්දය ප්‍රකාශ කිරීම නිම වීමට නියමිත අතර, ජූනි 4 වැනි දින ජන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතය.
ලෝක් සභාව ලෙස හැඳින්වෙන ආසන 545 කින් යුත් ඉන්දියානු පාර්ලිමේන්තුවේ ආසන 543 ක් සඳහා ඉන්දියානුවන් ඡන්දය ප්‍රකාශ කරනු ලබන අතර රටේ ජනාධිපතිවරයා විසින් නම් කරන ලද පුද්ගලයින් ඉදිරි ආසන දෙක සඳහා පත්කර ගනු ලබයි.
බහුතරයක් දිනා ගන්නා පක්ෂය තම ජයග්‍රාහී අපේක්ෂකයෙකු අගමැති ලෙස පත් කර ආණ්ඩුවක් පිහිටුවනු ඇත.
තරගය කා අතරද: වර්තමාන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය හා ගාන්ධි පවුල මුල් කොටගත ඉන්දියානු කොංග්‍රසය හා එක් වූ විරුද්ධ පක්ෂ සන්ධානයක් මෙවර මැතිවරණයේ ප්‍රධානතම තරගකරුවන් වේ.
බොහෝ දේශපාලන විචාරකයයින්ගේ මතය වන්නේ මෙම මැතිවරණයෙන් මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ජය ගනු ලබනු ඇති බවය. එසේ වුවහොත් 73 හැවිරිදි මෝදි ඉන්දියාවේ අගමැතිවරයා ලෙස පත් වන්නේ තුන් වන වතාවටය.
මෝදිගේ පාලනය යටතේ ඉන්දියාව ආර්ථික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන්ද විශාල පරිවර්තනයක් පසුගිය වසර කිහිපය තුළ අත්පත් කර ගත්තේය. මේ වන විට ලෝකයේ වේගයෙන්ම වර්ධනය වෙන ආර්ථිකයන් අතර ඉන්දියාව ද වෙයි. එසේම ඉන්දියාව ගෝලීය වේදිකාව වෙත රැගෙන යාමටත් මෝදිට හැකි වී ඇත.
කෙසේ වුවත් මෝදිගේ විවේචකයින් පෙන්වා දෙන්නේ ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල තරුණ විරැකියාව ඉහළ ගොස් ඇති බවත්, ඔහුගේ සහ ඔහුගේ පක්ෂයේ හින්දු ජාතිකවාදය ඉන්දියාවේ සිටින මිලියන 230ක් පමණ මුස්ලිම්වරුන්ට හා මෙතෙක් පවත්වාගෙන ආ රාජ්‍ය ආගමෙන් වෙන් කර තැබීමේ (secular India) සංකල්පයට තර්ජනයක් වී ඇති බවත් ය.