කාලීන
NASA අඟහරු මෙහෙයුමට සැරසෙන ශ්‍රී ලාංකීය තරුණිය
image for NASA අඟහරු මෙහෙයුමට සැරසෙන ශ්‍රී ලාංකීය තරුණිය

NASA ආයතනය මගින් සිදු කරනු ලබන අඟහරු සම්බන්ධ මෙහෙයුමකට ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත විද්‍යාඥවරියක් වන පියුමි විජේසේකරව තෝරා ගෙන ඇත.

NASA ආයතනය විසින් සිදු කරනු ලබන අඟහරු සම්බන්ධ මෙහෙයුමකට ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත විද්‍යාඥවරියක් වන පියුමි විජේසේකරව තෝරා ගෙන ඇති බව නාසා ආයතනය නිවේදනය කර ඇත.

නාසා ආයතනයේ වෙබ් අඩවියට අනුව මෙම මෙහෙයුම සඳහා සිව් දෙනෙකු තෝරාගෙන තිබේ. පියුමි විජේසේකරට අමතරව මෙම මෙහෙයුමට තෝරාගනු ලැබූ අනෙක් තිදෙනා වන්නේ Jason Lee, Stephanie Navarro, Shareef Al Romaithi ය.

මොකක්ද මේ මෙහෙයුම: නාසා ආයතනයට අයත් හූස්ටන් හි Johnson Space Center නම් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අඟහරු ග්‍රහ ලොවට සමාන පරිසරයක් නිර්මාණය කර ඇති අතර එම අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ මෙම මෙහෙයුම සිදු වනු ඇත. අදාළ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මානව ගවේෂණ පර්යේෂණ ඇනලොග් (Human Exploration Research Analog – HERA) වෙත මැයි 10 වන සිකුරාදා පියුමි විජේසේකර ඇතුළු සිව්දෙනා පිවිසීමට නියමිතය. 

මෙහිදී ඔවුන් ඇතුළු මෙම කාර්යට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් දින 45ක කාලයක් ගගනගාමීන් ලෙස එහි ජීවත් වනු ඇත. ඔවුන් එම ස්ථානයෙන් පිටත් වීමට නියමිතව ඇත්තේ මෙම වසරේම ජුනි 24 වන දා ය.මෙහෙයුම් පාලන මධ්‍යස්ථානය සහ මෙහෙයුම් මධ්‍යස්ථානය අතර සන්නිවේදන කටයුතු සිදු වන්නේ විනාඩි 5ක ප්‍රමාදයක් සහිතව වන අතර එම අත්දැකීමට මුහුණ දීමට ද HERA කණ්ඩායමට සිදු වනු ඇත.

මෙහෙයුමේ අරමුණ: අඟහරු ග්‍රහ ලොවටම සමාන පරිසර තත්ත්වයන් යටතේ නිර්මාණය වූ අවකාශයක් තුළ ගගනගාමීන්ට ජීවත් වීමට සලස්වා මිනිසා තමාට හුරු පුරුදු පෘථිවියෙන් ඈත්ව එවන් අවකාශයක ජීවත් වන්නේ කෙසේ ද යන්න අධ්‍යයනය කිරීම මෙහි අරමුණයි. 

පියුමි විජේසේකර කියන්නේ කවුද?: ඇය නාසා ආයතනයට අයත් NASA Ames පර්යේෂණ මධ්‍යස්ථානයේ විකිරණ ජෛවභෞතික විද්‍යා පර්යේෂණාගාරයේ පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස කටයුතු කරමින් සිටියි. ඇය සැන් ඩියාගෝ හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ද ලබා ඇති අතර ශාස්ත්‍රපති උපාධිය සහ ආචාර්ය උපාධිය ජෛව වෛද්‍ය ඉංජිනේරු අංශය සම්බන්ධයෙන් සිදු කර ඇත. ඇය මේ වන විට සැන් ෆ්‍රැන්සිස්කෝ හි ජීවත් වේ.