විනිවිද
ඉටි රූප කෞතුගාරයක් වීමට යන මහනුවර  ඇහැලේපොළ වලව්ව
image for ඉටි රූප කෞතුගාරයක් වීමට යන මහනුවර  ඇහැලේපොළ වලව්ව

මහනුවර රජ වීදියේ පිහිටි  පිහිටි ඓතිහාසික ඇහැලේපොළ වලව්ව දේශීය හා විදේශීය සංචාරයකයින් ආකර්ෂණය කර ගත හැකි ඉටි රූප කෞතුගාරයක් (wax museum) බවට පත් කිරීමට රජය සැරසෙයි.

මේ සඳහා වන මූලික පියවරක් ලෙස එම වලව්ව පූජා ඔප්පුවක් මගින් ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීම සම්බන්ධයෙන් වන ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ සතියේදී හිමි විය.

පවතින තත්වය: ඇහැලේපොළ වලව්ව 2005 වර්ෂයේදී පුරාවිද්‍යා ගොඩනැගිල්ලක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි. ඉන් පසු මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ එය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කරන ලද්දේය.

යෝජිත ව්‍යාපෘතිය: ඇහැලේපොළ වලව්ව හා සම්බන්ධ ඉතිහාසගත කරුණු සියල්ල  ඇතුළත් යෝජිත ඉටි රූප කෞතුකාගාරයේ වැඩ කටයුතු මෙම වසර අවසානයේදී නිම කිරීමට  අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශයක අමාත්‍ය බන්ධුල ගුණවර්ධන පවසයි.

ඔහු තව දුරටත් කියා සිටියේ මෙම ව්‍යාපෘතිය හරහා දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ලබා ගැනීම ද ,උඩරට රාජධානියේ ඓතිහාසික තොරතුරු සම්බන්ධයෙන් මහජනයා  දැනුවත් කිරීමටද කටයුතු කරන බවයි.

මෙම ව්‍යාපෘතියට අනුව දේශීය ආහාර පාන, පැරණි භාණ්ඩ ආදිය ඇතුළත් උඩරට රාජධානියේ  අභිමානය සනිටුහන් කරන, ඓතිහාසික සිදුවීම් ආවර්ජනය කළ හැකි ස්ථානයක් ලෙසට  ඇහැලේපොළ වලව්ව ස්ථාපිත විමට නියමිතයි.

ඉතිහාසය: අවුරුදු 400කට වඩා පැරණි ඇහැලේපොළ වලව්ව, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යටතේ  1811 සිට 1814 දක්වා මහ අදිකාරකම්වරයෙකු ලෙස සේවය කළ ඇහැලේපොළ අදිකාරම් සහ ඔහුගේ පවුලේ පිරිස වාසය කළ නිවස ලෙස සැලකේ.

එසේම මෙය 1948 දී ශ්‍රී ලංකාව ඉංග්‍රීසින්ගෙන් නිදහස ලබන තෙක්ම  මහනුවර බන්ධනාගාර සංකීර්ණයේ කොටසක් ලෙස පැවති  අතර නිදහස ලැබීමෙන් පසු බෝගම්බර බන්ධනාගාරයේ කොටසක් බවට පත් විය. 

ඇහැලේපොළ වලව්ව, රිමාන්ඩ් බන්ධනාගාරය හා බන්ධනාගාර නිල නිවාසය ලෙස ගොඩනැගිලි තුනකින් සමන්විතව තිබිණි.

එපමණක් නොව බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ දී (ක්‍රි.ව.1844) මෙය හමුදා බැරැක්කයක් ලෙස ද භාවිතයට යොදාගෙන ඇති බවට සාධක පවතී.

යුනෙස්කෝවේ අවධානය: තවද 1998 වසරේ මහනුවර ලෝක උරුම නගරයක් ලෙස ලැයිස්තුගත කිරීමේදී  යුනෙස්කෝව විසින් ඇහැලේපොළ වලව්ව, ‘සංරක්ෂිත ගොඩනැගිල්ලක්’ ලෙස නම් කර ඇත.