විනිවිද
කාන්තාවන්ට තනිව සංචාරය කළ හැකි රටවල් අතර ලංකාව උඩින්ම

ඉස්සර කාලේ වගේ නෙමෙයි අද වෙනකොට කාන්තාවකට තමන්ගේ රට ඇතුළෙ විතරක් නෙමෙයි ලෝකය වටේ වුණත් සංචාරය කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා.

ඉස්සර කාලේ වගේ නෙමෙයි අද වෙනකොට කාන්තාවකට තමන්ගේ රට ඇතුළෙ විතරක් නෙමෙයි ලෝකය වටේ වුණත් සංචාරය කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. 

මෑතකදී අනාවරණය වුණ කාරණයක් තමයි Gen Z පරම්පරාවේ කාන්තාවන්ගෙන් අඩකට වැඩි පිරිසක් විදෙස් රටවල තනිවම සංචාරය කිරීම ගැන වැඩි සැලකිල්ලක් දක්වන බව. 

TimeOut වෙබ් අඩවියේ මෑතකදී පළවෙලා තිබුණ තනිව සංචාරය කරන්න කැමති කාන්තාවන්ට (Solo female travelers) සංචාරයේ යෙදෙන්න හොඳම සහ සුරක්ෂිත රටවල් මොනවාද කියන එක ගැන ලිපියක්. මේක ලියලා තියෙන්නේ එංගලන්තයේ වාසය කරන ඉන්දියා ජේන් ට්‍රේනර් කියන සංචාරක ලේඛිකාව විසින්.

ඇයගේ රටවල් ලැයිස්තුවට අනුව කාන්තාවකට තනිව සංචාරය කරන්න හොඳම රටවල් අතර ශ්‍රී ලංකාව උඩින්ම තියෙනවා. TimeOut වෙබ් අඩවියට අනුව තනිව සංචාරය කරන කාන්තාවකට රට රටවල්වල සංස්කෘතික විවිධත්වය අධ්‍යයනය කරන්න, මතකයේ රැඳෙන අත්දැකීම් ලබා ගන්න හොඳම රටවල් මොනවද කියලා බලමු.

1. ශ්‍රී ලංකාව

සුන්දර ඉන්දියන් සාගරයෙන් වටවුණ කුඩා දූපතක් වන ශ්‍රී ලංකාව කාන්තාවන්ට දකුණු ආසියාවේ සංචාරයක යෙදෙනවා නම් සංචාරය කරන්න හොඳම සහ පළමු සුදුසුම රට විදියට TimeOut වෙබ් අඩවිය දක්වලා තියෙනවා. ලංකාවට එන සංචාරක කාන්තාවන් අතර ජනප්‍රියම ස්ථාන විදියට යුනෙස්කෝව විසින් නම් කරන ලද ඓතිහාසික වටිනාකමක් සහිත දඹුල්ල සහ සීගිරිය වගේ ස්ථාන හෝ නුවරඑළිය ප්‍රදේශයේ තේ වතු ආශ්‍රිත ප්‍රදේශ සඳහන් කරන්න පුළුවන්. සතියක හෝ මාසයක කාලයක් රැඳී සිටිමින් සංචාරයේ නිරත වීමට බොහෝ දෙනා ප්‍රිය කරන ප්‍රදේශ විදියට ඒවා නම් කරන්න පුළුවන්. ඊට අමතරව දේශීය ආහාර සංස්කෘතිය භුක්ති විඳිමින් කාලය ගත කළ හැකි ආරුගම්බේ, මිරිස්ස, හික්කඩුව වගේ මුහුද ආශ්‍රිත ප්‍රදේශත් සංචාරයට සුදුසු ස්ථාන විදියට හඳුන්වන්න පුළුවන්.

2. පෘතුගාලය

Digital nomads එහෙම නැත්නම් සරලවම කිව්වොත් ස්ථිර රැකියා ස්ථානයක රැකියාවේ නිරත නොවී තමන් කැමති ගමනාන්තවල සංචාරය කරමින් ඔන්ලයින් ක්‍රමයට රැකියා කරන බොහෝ දෙනෙක්ගේ ගමනාන්තයක් තමයි පෘතුගාලය කියන්නේ. Solo travelersලාගේ ගමනාන්තයක් විදියට හඳුන්වන පෘතුගාලය අතීත ශ්‍රී විභූතිය විදහා පාන මාළිගා, සුන්දර වෙරළ තීරයන්, කඳුකර ප්‍රදේශ වගේම නිස්කලංකවම තම කාලය ගත කරන්න පුළුවන් කැෆේවලින් ද සමන්විතයි. ලිස්බන් නගරයේ ඉතිහාසය කියා පාන පැරණි මංමාවත්, මිදි වතු වගේම තල්මසුන් නරඹන්නත් ජල ක්‍රීඩා කරන්නත් පෘතුගාලයේ සංචාරය කරන කාන්තාවන්ට හැකියි.

3. චෙක් ජනරජය

චෙක්යා එහෙමත් නැත්නම් චෙක් ජනරජය විදියට හඳුන්වන මේ රට යුරෝපීය රටක්. ඉතාම ලාබදායී මිලකට රසවත් ආහාරපාන ගන්න තියෙන රටක් වන මෙය ඊටම ආවේණික සුන්දරත්වයකින් යුක්ත රටක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉපැරණි මාළිගා, පැරණි නගර චතුරස්‍රය, චාල්ස් පාලම වගේ නරඹන්න ස්ථාන ද සහිත මේ රට තනිව සංචාරය කිරීමට හුරු නැති පිරිස්වලට ඇවිදීමට වගේම පාපැදියේ ගමන් කිරීමටත් පහසු රටක්. චෙක්යා කියන්නේ අපරාධ අඩු, සුන්දර රටක්. කාන්තාවන්ට තනිව සංචාරය කරන්න ඒ නිසා මේ රට ගොඩක් සුරක්ෂිතයි කියලා කියන්න පුළුවන්.

4.  ජපානය

ජපානය කියන්නේ තනිව සංචාරය කරන අයට විතරක් නෙමෙයි හැමෝටම ආරක්ෂිත ගමනාන්තයක් විදියට හඳුන්වන්න පුළුවන්. ජපානයටම ආවේණික වුණ සංස්කෘතික අත්දැකීම් විඳිමින් ඉතාම සුරක්ෂිතව කාන්තාවන්ට එහි සංචාරය කරන්න පුළුවන්. කාන්තාවන්ට ජපානය සුරක්ෂිතයි කියලා කියන තව හේතුවක් තමයි විශාල නගර ලෙස පෙනෙන ටෝකියෝ වැනි කාර්යබහුල නගර තිබුණත් කාන්තාවන්ටම වෙන් වුණ දුම්රිය මැදිරි, කාන්තාවන්ට වෙන්වූ හෝටල් ආදිය ජපානයේ තිබීම. 

5.  ග්වාතමාලාව

මීට පෙර කාන්තා සංචාරකයන්ගේ ජනප්‍රිය ගමනාන්තයක් නොවුණ ග්වාතමාලාව මේ වන විට කාන්තාවන් අතර ජනප්‍රිය වෙමින් පවතිනවා. දැරිය හැකි මිලකට ආහාරපාන ලබා ගැනීමට ඇති හැකියාව වගේම ඉතා හොඳ මට්ටමේ පවතින යටිතල පහසුකම්, කාන්තා නේවාසිකාගාර, සංචාරක මංමාවත් ආදිය ඊට හේතුවෙලා තියෙනවා. ඉපැරණි පිරමිඩ වගේම ග්වාතමාලාවේ අනන්‍යතාව කියා පාන ස්ථාන නිසා සංචාරයට සුදුසු සුරක්ෂිත රටක් විදියට මේ රට ජනප්‍රියයි.

6.  වියට්නාමය

අග්නිදිග ආසියාවේ කාන්තාවන්ට සංචාරය කරන්න සුරක්ෂිතම රටවල් අතර වියට්නාමය හා තායිලන්තය ඉදිරියෙන් තිබෙනවා. නමුත් ඒ අතරින් වියට්නාමය ඉදිරියෙන්ම සිටිනවා. කඳු, මුහුදු වෙරළ තීරයන්, පැරණි ගම්මාන ආදිය රටේ සුන්දරත්වය තවත් වැඩි කරනවා වගේම වියට්නාමයේ ආහාර රටාවත් සංචාරකයන්ට වියට්නාමය තමන්ගේ ගමනාන්තය විදියට තෝරගන්න හේතුවක් වෙනවා.

7.  ඔස්ට්‍රේලියාව

සුන්දර වෙරළ තීරයන්, ඔපෙරා හවුස්, සිඩ්නි වරාය වගේ ඔස්ට්‍රේලියාවේ අනන්‍යතාවය පෙන්වන ස්ථාන වගේම විවිධ ආහාර වර්ග ද බහුල රටක් වුණ ඔස්ට්‍රේලියාව තනිව සංචාරයේ යෙදෙන්නන්ගේ ජනප්‍රියම ගමනාන්තයක්. පහසුවෙන් සංචාරය කරන්න හැකි වීම වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් ද සංචාරයට සුදුසු ස්ථානයක් විදියට ඔස්ට්‍රේලියාව හඳුන්වන්න පුළුවන්.

8. ග්‍රීසිය

සූර්යාලෝකය, වෙරළ සහ ඉතිහාසය කියන මේ හැම දෙයක්ම එක්තැන් වුණ රටක් විදියට ග්‍රීසිය හඳුන්වන්න පුළුවන්. ග්‍රීසිය කියන්නේ ස්වභාවික සෞන්දර්ය එක්ක ගතට සිතට සුවපහසු කාලගුණය වගේම පැරණි ග්‍රීක කතාවල මතකයන් ද අතරින් ඇවිද යන්නට හොඳ රටක්. ලෝකයේ පැරණි නගරයන් වන ඇතෑන්ස් වගේ නගර වගේම නවීන නේවාසිකාගාර, හෝටල්වලින් ද සමන්විත ග්‍රීසිය කාන්තාවන්ට තනිව සංචාරයේ යෙදෙන්න සුරක්ෂිත රටක් බව කියන්න පුළුවන්.

9. නවසීලන්තය

සොබාදහමට ආදරය කරන කාන්තාවන්ට වගේම ත්‍රාසජනක ක්‍රියාවලට කැමති කාන්තාවන්ටත් ආරක්ෂිතව සංචාරය කරන්න සුදුසු රටක් තමයි නවසීලන්තය කියන්නේ. තමන්ට තනිව වාහන ධාවනය කරන්නත් සංචාරකයන්ට හැකියාව තියෙනවා. ඒ වගේම කඳු, ග්ලැසියර, මුහුදු වෙරළ ආදී දේවල් ගැන ගවේෂණය කරන්නත් අවස්ථාව තියෙනවා.

මූලාශ්‍රය: https://www.timeout.com/travel/solo-female-travel-best-destinations