ආර්ථික
රුපියල ඉහළ යාම ගැන අපනයනකරුවන් විරුද්ධ ඇයි?

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම හේතුවෙන් අපනයනකරුවන්ට එල්ල වී ඇති අභියෝගවලට විසඳුම් ලබා දෙන ලෙස අපනයන සංගම් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම හේතුවෙන් අපනයනකරුවන්ට එල්ල වී ඇති අභියෝගවලට විසඳුම් ලබා දෙන ලෙස අපනයන සංගම් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් අපනයන සංගම් පවසන්නේ, ආර්ථික අර්බුදය හමුවේ වුව ද රැකියා තිරසර කිරීමට සහ ස්ථාවර විදේශ විනිමය ගලායාමක් සහතික කිරීමට අපනයනකරුවන් පෙරමුණ ගෙන ක්‍රියා කරන බවත් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 13%ක් පමණ වන වෙළඳ භාණ්ඩ අපනයනවලින් බහුතරයක් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන අපනයනකරුවන් විසින් සිදු කරන බවත්ය.

ගැටලුව: විදේශ විනිමය පරිවර්තන නීති අපනයනකරුවන් මත බලහත්කාරයෙන් පටවන ලද්දක් වන අතර සමහර වියදම් රුපියලේ ලාබයට අනුකූල නොවන බවත් එය පිරිවැය තරගකාරීත්වයට හේතුවක් වන බවත් අපනයනකරුවන් පවසයි.

රුපියල ඉහළ යාමේ බලපෑම: රුපියල ඉහළ යාමෙන් අපනයන ව්‍යාපාරවලට සෘණාත්මක බලපෑමක් එල්ල වී ඇතැයි අදාළ නිවේදනයේ දැක්වේ. රුපියල ශක්තිමත් වීම යන්නෙන් අදහස් කරන්නේ අපනයනය කරන භාණ්ඩ ජාත්‍යන්තර ගැනුම්කරුවන්ට මිල අධික තත්ත්වයකට පත් වන අතර එය ගෝලීය වෙළඳ පොළ තුළ වන තරගකාරීත්වයට සෘජුව බලපෑම් එල්ල කරන බව යැයි එහි සඳහන් වේ. 

2022 මැයි මාසයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 364ක් ලෙස විනිමය අනුපාතිකය වෙනසකට භාජනය වූ අතර මෙහෙයුම් පිරිවැය ඉහළ යාමට එය හේතු විය. තව ද රටෙහි උද්ධමනයට අනුකූලව අපනයනවල පිරිවැය පදනම සකස් කිරීමට ද සිදු වූ බව අපනයනකරුවන් පවසයි.

මාර්තු 19 වන දා සිට රුපියලේ අගය ශීඝ්‍ර ලෙස ඉහළ යාම අපනයන ව්‍යාපාරවල තිරසරභාවයට සහ අපනයන ක්ෂේත්‍රයේ රැකියාවේ නියැළෙන්නන්ගේ ජීවනෝපායට ද තර්ජනයක් වෙමින් පවතින බව අදාළ නිවේදනයේ ප්‍රකාශ වේ.

රුපියලේ අගය ඉහළ ගිය ද ජීවන වියදම තවමත් ඉහළ අගයක පවතින අතර එම නිසා සේවක වැටුප් මත පීඩනයේ වෙනසක් නොමැති බව ඔවුන් පවසයි.

රුපියලේ අගය ඉහළ ගියේ කොහොමද?: මූල්‍ය ප්‍රතිපත්ති, ප්‍රතිපත්ති අනුපාත, උද්ධමනය, බදු ගැළපීම්, ආනයන පාලනය සහ ණය අත්හිටුවීම් වැනි ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය හරහා ආනයන සඳහා ඉල්ලුම සීමා විය.

තව ද ආර්ථික අර්බුදයේ උච්ඡතම අවස්ථාවේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපනයනකරුවන් සඳහා 2021 ඔක්තෝබර් 28 ගැසට් පත්‍රයක් මගින් කියා සිටියේ තාවකාලික පියවරක් ලෙස විදේශ විනිමය ලැබීම් අනිවාර්යෙන් පරිවර්තනය කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවයි. එමගින් නියමිත නිදහස් ගෙවීම් හැර නියමිත කාල රාමුවක් තුළ ආපසු හරවා යැවූ සියලු අපනයන ආදායම් රුපියල් බවට පරිවර්තනය කිරීම බලාත්මක කළේය. එය අපනයන මෙහෙයුම් මත පීඩනයක් ඇති කළ බව අදාළ නිවේදනයේ දැක්වේ.

අපනයනකරුවන්ගේ ඉල්ලීම: අපනයනකරුවන් ප්‍රකාශ කරන්නේ බලධාරීන් විසින් අපනයන සම්බන්ධයෙන් වන ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව සලකා බැලිය යුතු බවත් අපනයන ඉපැයීම් ගලා ඒම සහතික කිරීම සහ අනාගත ආයෝජන දිරිගැන්වීම සඳහා අපනයන ප්‍රමුඛ කරගත් ප්‍රතිපත්තියකට මූලිකත්වය දිය යුතු බවයි.

ඉහත සඳහන් කළ ගැසට් පත්‍රය ද නැවත පරීක්ෂා කර බලා අවලංගු කරන ලෙස මහ බැංකුවෙන් ඉල්ලා සිටින බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.