
විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වූ දැඩි විරෝධතාවයන් හමුවේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය සඳහා ගෙන තිබූ තිරණයක් හකුළා ගැනීමට රජය පියවර ගෙන තිබේ.
2024 පෙබරවාරි 13 වන දින නිකුත් කළ ගැසට් පත්‍රයක් හරහා දණ්ඩ නීති සංග්‍රහයේ 19 වන පරිච්ඡේදය සංශෝධනය කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා වන විජයදාස රාජපක්ෂ විසින් ගෙන තිබූ තීරණය විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් හකුළා ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
සංශෝධනය කරන්න ගියේ මොනවද: දණ්ඩ නීති සංග්‍රහයේ 19 වන පරිච්ඡේදයේ 363 සහ 364 යන වගන්ති සංශෝධනය කිරීම අරමුණ විය. මෙම වගන්ති දෙක ‘දූෂණය’ (rape) නම් වරද සම්බන්ධයෙන් අදාළ වේ.
විරුද්ධත්වයට හේතු: මෙහිදී එල්ල වූ ප්‍රධාන චෝදනාව වූයේ ගැහැණු දරුවෙකුට ස්ව කැමත්තෙන් ලිංගිකව එක් වීමේ වයස (age of consent) අවුරුදු 16 සිට 14 දක්වා පහළට ගෙන ඒමට මෙම සංශෝධනයෙන් උත්සාහ කරන බවයි.
දැනට පවතින තත්ත්වය යටතේ අවුරුදු 16කට අඩු ගැහැනු දරුවෙකු සමග ඇයගේ කැමැත්තෙන් ලිංගිකව එක් වූවත් එය ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් (statutory rape) ලෙස හැඳින්වේ. ඒ සඳහා වන දඬුවම අවුරුදු 10කට නොඅඩු හා අවුරුදු 20කට නොවැඩි සිර දඬුවමකි.
යෝජිත නීතිය: බැලූ බැල්මට ස්ව කැමත්තෙන් ලිංගිකව එක් වීමේ වයස (age of consent) අවුරුදු 16 සිට 14 දක්වා ගෙන ඒමට මෙම සංශෝධනයෙන් උත්සාහ කර ඇති බව පෙනුනත් යෝජිත නීතියෙන් ඇත්ත වශයෙන්ම සිදු කිරීමට උත්සාහ කරන්නේ බාලවයස්කාර වින්දිතයින් සහ තරුණ වැරදිකරුවන් සම්බන්ධ දූෂණ නඩුවලදී දඬුවම් නියම කිරීම සඳහා සියුම් ප්‍රවේශයක් හඳුන්වා දීමයි.
මේ අනුව යෝජිත සංශෝධන වන්නේ;
(අ) වයස අවුරුදු 22කට අඩු වරදකරුවෙකු හා වයස අවුරුදු 14ක් හෝ ඊට වැඩි එහෙත් අවුරුදු 16කට අඩු වූ ද වින්දිතයෙකු අතර සමීප සබඳතාවක් පැවත ඇත්තා වූ ද, ලිංගික ප්‍රවේශනය සිදු කර ඇත්තේ වින්දිතයාගේ කැමැත්ත ඇතිව වූ ද අවස්ථාවක, විධානාත්මක අවම දණ්ඩණය වෙනුවට අත්හිටවූ දණ්ඩනයක් නියම කිරීම සඳහා අධිකරණයට හැකි කරවීම සහ,
(ආ) වයස අවුරුදු 22කට අඩු වරදකරුවෙකු සහ වයස අවුරුදු 14ක් හෝ ඊට වැඩි වූ ද එහෙත් අවුරුදු 16ට අඩු වූ ද වින්දිතයෙකු අතර සමීප සම්බන්ධතාවයක් පැවත ඇත්තා වූ ද, ලිංගික ප්රවේශනයය සිදු කර ඇත්තේ වින්දිතයාගේ කැමැත්ත ඇතිව බව ඔප්පු කිරීම සඳහා සාක්ෂි නොමැති වූ ද අවස්ථාවක, විධානාත්මක අවම දණ්ඩනයට වඩා අඩු දණ්ඩනයක් නියම කිරීම සඳහා අධිකරණයට හැකි කරවීම,
කෙසේ වුවත් මෙම යෝජනාව සලකා බැලීමේදී කරුණු කිහිපයකට අපගේ දැඩි අවධානය යොමු කළ යුතුය.
සංශෝධනයේ ප්රගාමී කොටස්: විවාදයට තුඩු දෙන ඉහත සඳහන් කරුණ හැරුණු විට ගෙන ඒමට නියමිත වූ මෙම සංශෝධනයේ ඉතා ප්රගාමී කොටස් කිහිපයකින් ද යුක්ත විය. ඒවා නම්;