ආර්ථික
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ADB අතහිත

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් දිරි ගැන්වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට එකඟ වී ඇත.

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SME) දිරි ගැන්වීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව (Asian Development Bank – ADB) ඇමරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට එකඟ වී ඇතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

ගිවිසුමට අත්සන් තැබීම: අදාළ ගිවිසුමට අත්සන් තැබීමේ කටයුතු මුදල් අමාත්‍යංශයේදී සිදු විය.

මොකක්ද මේ ව්‍යාපෘතිය?: සුදුසුකම්ලත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක උප ව්‍යාපෘති සඳහා සහභාගී වන මූල්‍ය ආයතන (Participating Financial Institutions – PFIs) 10කට මූල්‍ය අතරමැදි ණයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය රේඛාව 2016 අප්‍රේල් මස සිට බලාත්මක විය.

සැලසුම් කළ කාලයට වසර එකහමාරකට පෙර, එනම් 2019 ජනවාරි මාසයේදී අදාළ ණය මූල්‍යමය වශයෙන් අවසන් කළේය. එය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් කරා ළඟා වීමේ සංවර්ධන ඉලක්ක ඉක්මවීය. කාන්තාවන් විසින් කරගෙන යනු ලබන, පළමු වරට ණය ලබා ගන්නන් සහ කොළඹින් පිටත ව්‍යවසායකයන් එම ඉලක්කගත කාණ්ඩයට අයත් විය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහයක් වීමේ අරමුණෙන් 2020 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා රජය, ආසියානු සංවර්ධන බැංකුව සමග තවත් ඇමරිකානු ඩොලර් මිලියන 165ක ණයක් සහ දිළිඳුකම අවම කිරීමේ ජපාන අරමුදලෙන් (JFPR) ඩොලර් මිලියන 3ක වටිනාකමකින් යුත් ප්‍රතිපාදන ලබා ගැනීමේ ගිවිසුම්වලට එළඹිණි.

තව ද අනපේක්ෂිත ලෙස පැමිණි Covid-19 වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් වූ බලපෑම්වලින් දැඩි ලෙස පීඩාවට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට වැඩිදුර සහය වීම වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය, ආසියානු සංවර්ධන බැංකුව සමග අඛණ්ඩව සාකච්ඡාවල නිරත විය. මෙම ව්‍යාපෘතිය රජයේ විස්තීරණ ආර්ථික ප්‍රතිසංස්කරණ උපාය මාර්ගයේ වැදගත් අංගයක් බවත් මෙරට ආර්ථිකය ස්ථාවර වීමට පසුගිය වසර 2 තුළ ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග වැදගත් වූ බවත් අදාළ නිවේදනයේ දැක්වේ.

සහය වන ආකාරය: ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රතිපාදනවලින් ඇමරිකානු ඩොලර් මිලියන 50ක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක්‍රමයක් සඳහා වෙන් කෙරෙනු ඇත. එය ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා සඳහා පහසු ප්‍රවේශයක් සකසා දෙනු ඇත. තව ද එය ඔවුන්ගේ ස්ථාවරත්වයට සහය වන තීරණාත්මක සාධකයක් ද වනු ඇති අතර තිරසර වර්ධනයක් සඳහා එය පදනම සකසනු ඇත.

ඇපකර පිළිබඳ ගැටලුව සහ විසඳුම්:කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අතීතයේ මුහුණ දුන් එක් ප්‍රධාන අභියෝගයක් වූයේ ණය අවදානම සහ ඇපකර සඳහා අදාළ අවශ්‍යතා හේතුවෙන් ණය මාර්ග හෝ සහනදායී ණය යෝජනා ක්‍රම ප්‍රමාණවත් ලෙස භාවිතා කිරීමට අවස්ථාව අහිමි වීමයි. එයට විසඳුමක් ලෙස ජාතික ණය ඇපකර ආයතනය (NCGI) පොදු සීමිත සමාගමක් ලෙස සංස්ථාපිත කිරීමට රජය පියවර ගෙන ඇත.මෙය ඔවුන්ට ඇපකර සඳහා මූල්‍ය විසඳුම් ලැබෙනු ඇත.

ආර්ථිකයට දක්වන දායකත්වය: මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සමස්ත ව්‍යාපාරවලින් 75%කට වඩා නියෝජනය කරන අතර රටේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය 50%කට අධිකය. තව ද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශ්‍රම බලකායෙන් 45%කට වැඩි පිරිසකට රැකියා ලබා දීම හේතුවෙන් සමස්තයක් ලෙස රටේ ආර්ථිකයට ඔවුන් සැලකිය යුතු බලපෑමක් ඇති කරයි.