කාලීන
සොරකම් කළ මුදල් ගත්තත් ණය පියවන්න අමාරුයි – ජනපති

ලෝකයේ සිටින ධනවත්ම පුද්ගලයාට පවා ලංකාවට සහය දීමට අපහසු වන තරමට ලංකාවේ ණය ප්‍රමාණය ඉහළ අගයක් ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. 

ලෝකයේ සිටින ධනවත්ම පුද්ගලයාට පවා ලංකාවට සහය දීමට අපහසු වන තරමට ලංකාවේ ණය ප්‍රමාණය ඉහළ අගයක් ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. 

සොරකම් කළ මුදල් ණය පියවන්න ප්‍රමාණවත් ද?: පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ඔවුන් සොරාගත්තා යැයි කියන වත්කම් නැවත අය කරගැනීමෙන් රටේ ණය ප්‍රමාණය ආවරණය කරගත නොහැකි බව ද ජනාධිපතිවරයා පැවසීය.

සොරකම් කළ මුදල් අය කරගැනීමෙන් ලංකාවේ ණය බර සැලකිය යුතු ලෙස අවම කරගැනීමට ඇති හැකියාව පිළිබඳව මෙම සතියේදී කොළඹ පැවති හමුවකදී ප්‍රේක්ෂකාගාරයෙන් යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉහත කරුණු පවසන ලදී.

“මුලින්ම අපේ ණය දිහා බැලුවොත්, මම හිතන්නේ නැහැ ලෝකේ ඉන්න ධනවත්ම කෙනා ළඟට ගියත් ණය පියවන එක අපිට කරන්න පුළුවන් වෙයි කියලා. අපි ඒ තරම් ණය ප්‍රමාණයක් අරන් තියෙනවා. ලංකාවෙන් එක්කෙනෙක් දෙන්නෙක් ගත්ත මුදල් නැවත අරගෙන මේ ප්‍රශ්නෙ විසඳන්න පුළුවන් කියලා කවුරුහරි කියනවා නම් ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්,” යැයි ජනාධිපතිවරයා පැවසීය.

රාජපක්ෂවරුන් තමන් බලයේ සිටිද්දී වංචා දූෂණ හරහා විශාල වශයෙන් මහජන මුදල් කොල්ල කෑ බවට එවකට විපක්ෂ දේශපාලන පක්ෂ විසින් චෝදනා එල්ල විය. කෙසේ වුවද රාජපක්ෂවරුන් මෙම චෝදනාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරය දැරූ 2015 පිහිටුවන ලද රජය බලයට එන්නේම රාජපක්ෂවරුන්ගේ පවුල් පාලනයට හා ඔවුන් කළා යැයි කියන මහා පරිමාණයේ වංචා දූෂණවලට දඬුවම් දීමටය.

“මම අලුත් කොමිසමක් පත් කළා. ඕනම කෙනෙක්ට ගිහින් බලන්න පුළුවන්. අපි යහපාලන ආණ්ඩුවේ ඉන්න කාලෙත් අපි ඒ ගැන හෙව්වා. අධිකරණයට ගෙනියන්න අවශ්‍ය අයව අධිකරණයට අරන් ගියා. අනිත් අය සම්බන්ධයෙන් කිසිම සාක්ෂියක් තිබුණෙ නැහැ. නමුත් අලුත් චෝදනා තියෙනවා නම් අපිට තියෙනවා අලුත් කොමිසමක්, ඔබට පුළුවන් ඔවුන්ට ඒ ගැන වාර්තා කරන්න. අපි කවුරුත් මැදිහත් වෙන්නේ නැහැ,” යැයි ජනාධිපතිවරයා පැවසීය.

මෙහිදී කොමිසම යනුවෙන් ජනාධිපතිවරය සඳහන් කරන්නේ 2023 දෙසැම්බර් මාසයේදී නව සාමාජිකයින් පත් කරන ලද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවයි.

ණය සහ දූෂණය: ශ්‍රී ලංකාවෙ සමස්ත හිඟ විදේශ ණය ප්‍රමාණය  2023 දෙසැම්බර් වන විට ඇමරිකානු ඩොලර් බිලියන 37 ඉක්මවීය.

සොරකම් කළා යැයි කියනු ලබන මුදල සම්බන්ධයෙන් පැහැදිලි ගණනය කිරීමක් මේ වන විට නොමැති නමුත්, එය රටේ සමස්ත ණය ප්‍රමාණයට වඩා හා අය වැය හිගය පියවීමට මුදල් මුද්‍රණය කිරීම නිසා ඇති වූ අධික උද්ධමනය නිසා සිදූ වූ පාඩුවට වඩා අඩු බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි.

කෙසේ වෙතත්, සමස්තයක් ලෙස ගත් විට දූෂණය නිසා රටට සිදු වූ පාඩුව වසර ගණනාවක් තිස්සේ සොරකම් කළා යැයි කියන අගයට වඩා වැඩි විය හැකිය. දූෂණය යනු ශක්තිමත් නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීම මගින් අවම කළ යුතු ගැටලුවකි.