කාලීන
කටුනායක, රත්මලාන හා මත්තල ගුවන් තොටුපොළ ඉන්දීය සමාගමක කළමනාකරණය යටතට…
image for කටුනායක, රත්මලාන හා මත්තල ගුවන් තොටුපොළ ඉන්දීය සමාගමක කළමනාකරණය යටතට…

කටුනායක, රත්මලාන හා මත්තල ගුවන් තොටුපොළවල් ඉන්දීය ආයතනයක් මගින් ඉදිරියේදී කළමනාකරණය වීමට ඉඩ ඇතැයි සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා පවසයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, රත්මලාන ගුවන් තොටුපොළ හා මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළ ඉන්දීය ආයතනයක් මගින් ඉදිරියේදී කළමනාකරණය වීමට ඉඩ ඇතැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

හරීන් කියූ දේ: “එයාර්පොර්ට්ස් තුනම ඉන්දීය ආයතනයක් ගන්න යනවනේ. ඒ තුන ගත්තොත් හොඳ තත්ත්වෙකට එයි,” යනුවෙන් අද (31) දිනයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතා හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා ප්‍රකාශ කළේය. 

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා කියා සිටියේ මෙම ඉන්දීය ආයතනය ගුවන්තොටුපොළවල් තුනේ කළමනාකරණය භාර ගත් විට සංචාරකයන් සඳහා මෙම ගුවන් තොටුපොළවල්වල පවතින තත්ත්වයන් ඉදිරියේදී පැහැදිලි ලෙස වර්ධනයක් පෙන්නුම් කරනු ඇති බවයි.

ඔහු පැවසූයේ ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා ගුවන්තොටුපොළවල පවතින ආගමන විගමන පටිපාටින් පහසු කළ යුතු බවත් මේ සඳහා smart gate වැනි දෑ හඳුන්වා දිය යුතු බවත්ය.

මගී තදබදය: කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දැනට පවතින විශාලතම ගැටලුව වන්නේ එය සතු ධාරිතා සීමාවන්ය. ඇමතිවරයා පැවසූයේ මෙම තත්ත්වය සමනය කිරීමට නම් නව මගී පර්යන්තයක් හැකි තරම් ඉක්මනින් ඉදි කිරීම අත්‍යවශ්‍ය බවය.

මෙම වසරේදී සංචාරකයින් මිලියන 2.2ක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි සංචාරක අංශයේ බලධාරින්ගේ අපේක්ෂාවයි. එසේම මෙම සංචාරකයන්ගෙන් මේ වසරේදී ලැබේ යැයි අපේක්ෂිත ආදායම ඇ.ඩො. බිලියන 4කි.

2023 වර්ෂයේදී මෙරටට පැමිණි විදේශ සංචාරකයින් ගණන ආසන්න වශයෙන් මිලියන 1.48 පමණ වේ. සංචාරක කර්මාන්තයෙන් ලැබූ ආදායම ඇ.ඩො. බිලියන 2ක් පමණ වේ.