ආර්ථික
IMF එක ලංකාව ගැන මේ පාර මොනවද කිව්වේ…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් ඇතුළු කණ්ඩායමක් 19 වන දා මෙරට සංචාරයක් අවසන් කර මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් පසුගිය දා (19) ශ්‍රී ලංකාවේ සංචාරයක් අවසන් කර මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

වැදගත්කම: මෙම සංචාරය බොහෝ විට මාර්තු-අප්‍රේල් මාසවල පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඇ.ඩො. බිලියන 3ක් පමණ වන විස්තීරණ ගිවිසුමෙහි දෙවන සමාලෝචනයට පෙර ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික හා සමාජීය තත්ත්වයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් සිදු කළ නොනිල ඇගයුමක් ලෙස සැලකිය හැකිය.

හමුවීම් හා සාකච්ඡා: මෙම සංචාරයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායම ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍ය කාංචන විජේසේකර, අමාත්‍ය විජයදාස රාජපක්ෂ සමඟ සාකච්ඡා පැවැත්වීය. 

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීහු ද මෙම සාකච්ඡා සඳහා සහභාගි විය. එයට අමරතරව IMF කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පෞද්ගලික අංශයේ නියෝජිතයින්, සිවිල් සමාජ සංවිධාන, ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂ සහ සංවර්ධන හවුල්කරුවන් ද හමුවිය. එසේම IMF දූත පිරිස උතුරු සහ නැගෙනහිර පළාත්වල සංචාරයක ද නිරත විය.

සංචාරයෙන් පසු නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සහ මාධ්‍ය හමුවේදී මතු වූ වැදගත් කරුණු 7ක්: 

  1. නිල ණය හිමියන් (official creditors) සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන අවසන් ගිවිසුම් කඩිනමින් කිරීම හා මාර්තු-අප්‍රේල් කාලසීමාවේ සිදුවීමට නියමිත වැඩසටහනේ දෙවන සමාලෝචනයට පෙර පෞද්ගලික ණය හිමියන් සමඟ එකඟතාවක් ඇති කර ගැනීම.
  2. පසුගිය වසරේදී එළි දැක්වූ Governance Diagnostics Report හි අඩංගු නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි සැලැස්මක් නිර්මාණය කිරීම.
  3. බැංකු පනතේ සංශෝධන අවසන් කිරීමට, බැංකු ප්‍රාග්ධනීකරණ සැලසුම් ක්‍රියාත්මක කිරීමට සහ ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා මූල්‍ය අධීක්ෂණය ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනම් කිරීම.
  4. සාධාරණ ලෙස බදු බර බෙදී යාමට හා තිරසාර ලෙස රජයේ ආදායම ඉහළ නැංවීමට ඉතා ඉක්මනින්ම ප්‍රගතිශීලී දේපළ බද්දක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය.
  5. උද්ධමන අපේක්ෂාවන් නැංගුරම් ලෑම (anchoring)  සහ විදේශ සංචිත නැවත ගොඩ නැගීම කෙරෙහි අවධානය යොමු කරමින් අනාගත මුදල් ප්‍රතිපත්ති තීරණ විචක්ෂණශීලීව පවත්වා ගෙන යෑම.
  6. ප්‍රතිසංස්කරණ තිරසාරව පවත්වා ගැනීමට සහ ණයහිමියන්ගේ විශ්වාසය දිනා ගැනීමට බදු පරිපාලනය ශක්තිමත් කිරීම, නිදහස් කිරීම් ඉවත් කිරීම සහ බදු පැහැර හැරීම්වලට එරෙහිව ක්‍රියාකාරීව කටයුතු කිරීම.
  7. ආර්ථිකයේ සිදුවන ධනාත්මක වර්ධනයන් ශ්‍රී ලංකාවේ ජනතාවට දැනෙන ප්‍රතිලාභ බවට පරිවර්තනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම.

 

2024 ජනවාරි 19 දින කොළඹදී පැවති IMF දූත මණ්ඩල මාධ්‍ය සාකච්ඡාව නැරඹීමට පහත link එක භාවිතා කරන්න.

https://www.imf.org/en/News/Articles/2024/01/19/tr011924-transcript-of-sri-lanka-press-briefing