ආර්ථික
Prime rate එක මාස 21කින් පසු 12%න් පහළට
image for Prime rate එක මාස 21කින් පසු 12%න් පහළට

2022 අප්‍රේල්වලට පසු ප්‍රථම වතාවට ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය සියයට 12 මට්ටමින් පහළට ගොස් ඇති බව පසුගිය සතියේ නිකුත් කළ මහ බැංකු දත්ත පෙන්වා දෙයි.

2022 අප්‍රේල්වලට පසු ප්‍රථම වතාවට ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය සියයට 12 මට්ටමින් පහළට ගොස් ඇති බව පසුගිය සතියේ නිකුත් කළ මහ බැංකු දත්ත පෙන්වා දෙයි. 2024 ජනවාරි 05 වනදායින් අවසන් වූ සතියේදී ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය සියයට 11.87 ලෙස වාර්තා විය. ඊට පෙර සතියේ මෙම අගය සියයට 12.13 ලෙස වාර්තා විය.

වැදගත්කම: බරිත් සාමාන්‍යය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය  නැතහොත් Average weighted prime lending rate ( AWPLR) යනු බැංකු විසින් තම ප්‍රමුඛතම ගනුදෙනුකරුවන්ට කෙටි කාලීන ණය පහසුකම් ලබා දීමේදී පිරිනමනු ලබන පොලී අනුපාතිකය වේ. AWPLRහි පහළ යාම සමස්ත වෙළඳ පොළ පොලී අනුපාතික ඉදිරියේදී තවදුරටත් පහළ යනු ඇති බව කියා පායි.

වසරකට පෙර තත්ත්වය: 2023 ජනවාරි වන විට ප්‍රමුඛ ණය අනුපාතය දැනට පවතින මට්ටමට වඩා දෙගුණයකටත් වඩා වැඩි වූ අතර එය සියයට 28.07 පමණ අගයක් විය. 

ණය පැහැර හැරීම: 2022 අප්‍රේල් 12 දින ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම පැහැර හැරීමට තීරණය කළේය. මෙය සිදු කරනු ලබන්නේ 2022 අප්‍රේල් 8 වන දින නිවේදනය කරන ලද පදනම් අංක 700ක දැවැන්ත අගයකින් යුත් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමේ තීරණයෙන් පසුවය. මෙමගින් වෙළඳ පොළ පොලී අනුපාතික ඉතා විශාල වශයෙන් ඉහළට ඔසවනු ලැබීය. ඒ අනුව AWPLR සියයට 12ට යටින් මින් පෙර තිබූ අවසන් අවස්ථාව 2022 අප්‍රේල් 12 වේ. එම අගය සියයට 11.06 විය.

මහ බැංකු අධිපති කියන දේ:

මධ්‍යකාලීනව උද්ධමනය සිය ඉලක්කගත සියයට 5 මට්ටමේ පැවතියහොත් නුදුරු අනාගතයේදී ප්‍රමුඛ ණය අනුපාතිකය තනි ඉලක්කම් මට්ටම දක්වා පහත බැසීමේ හැකියාවක් තමන් දකින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගිය දා ප්‍රකාශ කළේය.

වර්තමාන තත්ත්වය: 2023 නොවැම්බර් සිදු කරන ලද පදනම් අංක 100ක අඩු කිරීමත් සමගම ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 9ක් වන අතර නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 10ක් වෙයි. කෙසේ වුවත් සාමාන්‍ය ණයකරුවන් (personal, SME ආදී) සඳහා වෙළඳ පොළ ණය පොලී අනුපාතික තවමත් සියයට 16 -18 මට්ටමේ පවතී.