දේශපාලන
ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් දයාසිරි ජයසේකරට පක්ෂ සාමාජිකත්වය අහිමි වේ

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය

ප්‍රධාන පුවත: පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) මහ ලේකම් ධුරය සහ පක්ෂ සාමාජිකත්වය ශ්‍රීලනිපය විසින් අත්හිටුවන ලදී.

සැප්තැම්බර් 5 වන දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අත්සනින් යුතු ලිපියකින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට දන්වා ඇත්තේ ඔහුව පක්ෂයෙන් ඉවත් කළ බවත් එම නිසා පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කිරීම ද අත්හිටුවන බවයි.

අදාළ ලිපියට අනුව මන්ත්‍රීවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතය.

පක්ෂ අභ්‍යන්තර අර්බුදය: ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සර සැමරුම අමතමින් ඉරිදා දිනයේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, විවිධ මතවාද හේතුවෙන් පක්ෂය තුළ අර්බුදකාරී තත්ත්වයක් පවතින බවයි.

“අපි ඒ අර්බුදය විසඳන්න සාකච්ඡා පවත්වනවා. අද අපි ඉන්නේ විශාල භූ-දේශපාලනික අර්බුදයක් මැද.”

“අපි සියල්ලෝම එක මතයකට එන්න ඕන. අපි එක්කෝ ආණ්ඩුවේ, එක්කෝ විපක්ෂයේ දේශපාලනය කරන්න ඕන. අපි එකක් තෝරගන්න ඕන,” යනුවෙන් ඔහු පැවසීය.

“අපේ නායකයා බොහොම අමාරුවෙනුයි අපිව එකට එකතු කරලා තියෙන්නේ. ඒ නිසා අපි අතර ප්‍රශ්න ඇති කරගන්න අවශ්‍ය නැහැ,” යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මහ ලේකම්රයා ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්?: තමන්ව තනතුරෙන් ඉවත් කිරීමට පක්ෂයේ සමහර කොටස් කුමන්ත්‍රණය කරන බවට වන වාර්තා සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අගෝස්තු 31 වන දා ප්‍රතිචාර දැක්වුවේය. එය සිදු වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සර සැමරුම ඔහුගේ ආසනය වන කුරුණෑගල සිට කොළඹට ගෙන ඒමට අවසාන මිනිත්තුවේ ගත් තීරණයකට පසුවය. 

දයාසිරි ජයසේකර පැවසූ දේ: බ්‍රහස්පතින්දා සැන්දෑවේ පක්ෂ හමුවෙන් පසුව ඔහු මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේ, ඔහු තීරණය ගැන දැනගත්තේ ද බ්‍රහස්පතින්දා සවස බවයි. පක්ෂ මහ ලේකම්වරයා සිය පක්ෂයේ සිදු වන්නේ කුමක්දැයි නොදන්නා බව සත්‍යක්දැයි විමසූ විට ඔහු පැවසුවේ, “මම කලින් දන්නේ නැහැ. නමුත් මම අද දන්නවා,” යනුවෙනි.

පක්ෂයේ සභාපති වන මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තවදුරටත් තමන්ව පක්ෂයේ තබාගන්න කැමැත්තක් නොමැති නම් තමා සතුටින් ඉවත් වන බව ඔහු පැවසීය.

“කෙසේ වෙතත් මම පක්ෂයේ රැඳී සිටිනවා,” යනුවෙන් ඔහු පැවසීය.

“මට එරෙහිව පහළ මට්ටමෙන් ප්‍රශ්නයක් නැහැ. ඉහළ මට්ටමේ ඉන්න කීප දෙනෙක්ට තමයි මාව එළියට යවාගන්න ඕන, එතකොට එයාලාට පුළුවන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය එක්ක සම්බන්ධ වෙන්න,” යැයි ඔහු ප්‍රකාශ කළේය.

මූලාශ්‍රය: economynext වෙබ් අඩවිය